Sunday, April 14, 2019

කැලෑ පාලුවන්ට බය නැති ගෝත්‍රික ගැහැනිය



ලෝකයේ දේශගුණික,කාලගුණික තත්ත්වයන් ඉතා සීග්‍රයෙන් වෙනස් වෙමින් ඇත. ලෝක උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. ශ්‍රී ලාංකිකයන් ලෙස අපද එම ආපදාවන්ගේ ප්‍රතිපල භුක්ති විඳිමින් සිටී. මේ සියල්ලට මුල මානව ක්‍රියාකාරකම් බව අපට පිළිගන්නට සිදුව තිබේ. මේ කතාව ඇසෙන්නේ ඉක්වදෝරයෙනි. පසුගිය ජනවාරි මාසයේ ඉක්වදෝරයේ ගෝත්‍රික ජනයා සිය දහස් ගණනක් මහා සමාජයේ කැලෑ පාළුවන්ට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ. පළමු වතාවට ඔවුහු මහා සමාජයේ උසාවිවලට ගියේ කැලෑ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමිනි. ඒ වනාන්තර හෙළි කරන බහුජාතික තෙල් සමාගම්වලට එරෙහිවය. විශේෂත්වය නම් එම සටනේ මූලිකත්වය ගත් චරිතය ස්වදේශික කාන්තාවක් වීමයි. ඇය නමින් Nemonte Nenquimo ය.



මෙසේ නගරවලට පැමිණ සිය විරෝධය පලකළ ආධිවාසී ජන කණ්ඩායම " වවෝරානි" ලෙස හඳුන්වන ජන කණ්ඩායමකි. වසර දහස් ගණනක් පුරා දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ජීවත්වන ජන කණ්ඩායමක් ලෙස ඔවුන් ප්‍රකටය. දින ගණනාවක් මුළුල්ලේ පා ගමනින් පැමිණ ඉක්වදෝරයේ පුයෝ නගරයට බට ඔවුහු නගරයේ වීදි පුරා ඇවිදිමින් සිය සාමකාමී විරෝධය මුළු ලෝකයටම පෙන්වූහ. විරෝධතා පුවරු රැගත් ඔවුහු සටන් සිය දුක්ගැනවිලි නගරයේ මිනිසුන්ට කීවේ ගෝත්‍රික ගීවලිනි. අවසානයේ ඔවුහු උසාවියට පැමිණ සිය විරෝධය පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළහ.





දකුණු ඇමරිකානු රජයන් කිහිපයකගේම මැදිහත්වීමෙන් " පැස්ටාසා" නම් වූ සශ්‍රික වන භූමිය තෙල් නිපදවන බහුජාතික සමාගම්වලට වෙන්දේසි කරන්නට යන ව්‍යාපෘතිය මෙම විරෝධයට මූලික හේතුව වූ අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හෙක්ටයාර් ගණනාවක වන භූමියක් එළි කිරීමට නියමිතව ඇත. ඒ ව්‍යාපෘතිය ඇරඹුනහොත් " වවෝරානි" මිනිසුන් බොහෝ පිරිසකට සිය සම්ප්‍රදායික වාසභුමි අහිමි වේ. එසේම එයින් පරිසරයට සිදුවන්නේ ගණනය කළ නොහැකි හානියකි. මන්දයත් එම ප්‍රදේශය ලෝකයේ ඇති වටිනාම ජෛවවිද්‍යාත්මක පරිසර පද්ධතීන් අතරින් තවත් එක් බිම් කඩක් වන බැවිනි. 



" වවෝරානි" ජනයා උසාවියට පැමිණි මොහොතේ එහි සිටි විනිසුරුවන් අපහසුතාවයට පත්වූ බවද පැවසේ. විශේෂයෙන්ම " වවෝරානිවරු" සිය ස්වදේශීය භාෂාවෙන් ඔවුන්ට සිය පැමිණිලි ඉදිරිපත් කරන්නට ගැනීමත්, උසාවිය තුළදී ගෝත්‍රික ගී ගායනා කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබුණි. අවසානයේ ඔවුන් වෙනුවෙන් පරිවර්තන සහායක් සොයා ගන්නතුරු උසාවියේ කටයුතු කල් දැමීමටද ඔවුනට සිදුවිය. " වවෝරානිවරු" වෙනුවෙන් පෙනී සිටින ස්වේච්ජා නීති සමාගමේ ප්‍රකාශිකාවක වන ලීනා මරියා කියා සිටියේ ඔවුන්ගේ භාෂාව, සිතුම් පැතුම් නොහඳුනන රජයකට ඔවුන්ගේ වාසභූමි පිළිබඳව තීරණ ගන්නට කිසිදු අයිතියක් නැති බවයි.


කෙසේ හෝ මේ මහා සටනේ මහා බලය කේන්ද්‍ර වන්නේ Nemonte Nenquimo වටාය. සිය භූමියත්, වන විනාශයත් රැක ගන්නට සිය ජන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇයයි. ඇයට ඒ තරම් ධෛර්යයක් ලැබෙන්නේ ඇය මීට කලකට ඉහතදී මහා සමාජයට මුසු වී අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය නිසාය. අධ්‍යාපන කටයුතු නිමකළ ඇය නැවතත් සිය ජන සමාජයට එකතු වූයේ මහා සමාජයෙන්ම ඔවුන්ට සිදුවන අසාධාරණයන් දරාගන්නට බැරි වූ විටය. ඔවුන් මහා සමාජයේ අසාධාරණයන්ගෙන් බේරා ගැනීමට ඇයගේ මූලිකත්වයෙන් සංවිධානයක් පවා බිහි විය. එය ceibo Alliance ලෙස හඳුන්වන අතර අද වනවිට එය දකුණු ඇමරිකාවේ ස්වදේශිකයන් සහ වනාන්තර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන විශාලතම සංවිධානයකි. 


" ගැහැනියක් විදිහට , මවක් විදිහට , පරිසරයට ආදරය කරන අයෙක් ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපේ සටනට සහයෝගය දක්වන්න. කවරදාටත් වඩා අපි අද ජන කණ්ඩායමක් ලෙස එකට නැගී සිටිනවා. අපි එකතු වී මේ භුමිය, මේ මහා වනාන්තරය , මේ මිහිකත බේරාගත යුතුයි" 



ඒ මාධ්‍ය ඔස්සේ ඇය ලෝකයේම සිටින පරිසරයට ආදරය කරන මිනිසුන්ගෙන් කළ ඉල්ලීමයි. විල්පත්තු සහ සිංහරාජ වන විනාශයත් සමඟ අප සමාජය තුළද අදවනවිට කැලෑ පාළුවන්ට එරෙහිව මහා විරෝධයක් ගොඩ නැගෙමින් තිබේ. එම විරෝධය විශ්වීය විරෝධයක් ලෙස ගොඩ නැගිය යුතු කාලය එළඹ තිබේ. අනාගත පරපුරට ජීවත් වන්නට හැකි මිහිතලයක් බිහි කිරීම අප සියලු දෙනාගේ යුතුකමය.


___අයේෂ් ලියනගේ___




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators