වේදනාව ගැන අත්දැකීමක් නැත්නම් වේදනාවේ දිග පළල තේරුම් ගන්නත් අමාරුයි. මිනිස්සු වේදනාවන්වලට පිළියම් යොදන්නේ තමන්ම ඒ වේදනාවන් අත්දැක්කට පස්සේ. මේ කියන්නෙත් ඒ වගේ පොඩි කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතේ සුප්‍රකට හොලිවුඩ් රැප් තරුවක් වෙච්ච Jay - Z. ඔහු විවාහ වී සිටින්නේ ඒ වගේම සුප්‍රකට තරුවක් වුණු බියෝන්සේ සමඟ බව බොහෝ හොලිවුඩ් රසිකයින් දන්නා කරුණක්. Jay - Z කියන්නේ බිලියනපතියෙක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේම බිලියනපතියන්ට දුප්පතුන්ගේ දුක වේදනාව වුණත් දැනෙන්නේ ඉතාම සුළු වශයෙන් බවත් අමුතුවෙන් කියන්න ඕන නෑ. සමහරවිට දැනෙන්නෙම නැති තරම්. නමුත් 2006 වසරේ ඇන්ගෝලා සංචාරය Jay - Z ගේ ජිවිතය වෙනස් තැනකට අරගෙන ගියා.
ඔහු අප්‍රිකාවේ ඇන්ගෝලාවට යන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් විදිහට. ඉතාම දුෂ්කර සහ දුප්පත් ප්‍රදේශවලට යන්න ඔහුට සිදුවුණා. ඒ වගේම දුගී පැල්පත්වලට ගොඩවුණා. ආර්ථික අපහසුතාවන්වල ඉන්න මිනිස්සුන්ගේ වේදනාවන් ඇහුවා. මන්දපෝෂණය දැක්කා. Jay - Zට ඕන වුණා ඒ මිනිස්සු තමන්ගේ ජල අවශ්‍යතාව සපුරගන්න හැටි ගැනත් හොයන්න. මෙහෙම ඇවිදිද්දී එක තැනකදී Jay - Zව වටකරගත්තේ පොඩි දරුවන් රෑනක්. ඔහු ඒ දරුවන් එක්ක ඔවුන් වතුර ගේන්න යන තැනට යනකල්ම පයින් ඇවිදගෙන යන්න පටන් ගත්තා. කොහොමහරි ඔහුට හැතැප්ම 6ක් දුර ඇවිදගෙන යන්න සිද්ද වුණා. හැමදාම මේ මිනිස්සු වතුර ටිකක් වෙනුවෙන් මේ තරම් දුරක් ගෙවාගෙන එනවා නේද කියලා Jay - Zට දැනුණා. තමන්ම ඒ කටුකත්වය අත්වින්දට පස්සේ ඔහුට ඕන වෙනවා ඒ මිනිස්සු වෙනුවෙන් යම් දෙයක් කරන්න.
පෙරළා ඇමරිකාවට ආපු Jay - Z තමන්ගේ පෞද්ගලික මුදලින් මේ මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාව සපුරන්න තීරණය කළා. මිලියන ගණනක ව්‍යාපෘතියක් ඔහු ආරම්භ කළා. එම පළාතේ ගම්මාන තුනකට ජල නල එලා අලුත් ලිංවලින් ජලය සපයන ආකාරයේ ව්‍යාපෘතිය ඔහු සාර්ථකව අවසන් කළා. අවුරුදු එකොළහක් යනතුරු ඒවායේ නඩත්තු කටයුතුත් තමාගේම පෞද්ගලික වියදමින් කරන්න ඔහු බාර ගත්තා. Jay - Z කියන්නෙත් අප්‍රිකානු මුලක් තියෙන කළු ජාතිකයෙක්. අප්‍රිකාව වෙනුවෙන් ඔහුට කළ හැකි යුතුකම ඔහු ඒ විදිහට කළා.
මේ විදිහේ සත්කාරයන් කළ එකම බිලියනපතියා Jay - Z විතරක් නෙමෙයි. අපි දකිනවා බටහිර ලෝකයේ බොහෝ බිලියනපතියන් තමන් සතු මුදල් දුප්පතුන් වෙනුවෙන් යොදවන ආකාරය. බටහිර සංස්කෘතිය තුළ බිහිවුණු බොහෝ බිලියනපතියන් එවැනි සත්කාර කළත් අපි වැනි බෞද්ධ දහමින් පෝෂණය වූ රටවල බිහිවෙන බහුතරයක් ධනවතුන් මුදල් රැස්කිරීම හැර අන් යමක් කරනවාද යන්නත් ගැටලුවක්. සියලු බටහිර චින්තනයන් අනුගමනය කරන අපේ ධනවතුන් බටහිර ලෝකයේ ඒ පරිත්‍යාගශීලිභාවයෙනුත් ආදර්ශ ගත්තා නම් අපි වැනි තුන්වැනි ලෝකයේ රටවලට මීටත් වඩා තවත් එක අඩියක් හරි ඉස්සරහින් ඉන්න තිබුණා.
___අයේෂ් ලියනගේ___
No comments:
Post a Comment