Saturday, August 3, 2019

වයස 63දී ජීවිතය සොයාගත් සිත්තර ආච්චි

වයස අසූ ගණනක් වූ චෑන්ග් ආච්චි ජීවත් වුණේ චීනයේ හෙනාන් පළාතේ ඈත ගමක. ලියන්න, කියන්න ඉගෙනගෙන නැති ඇය තමන්ටම කියලා ඉඩක් හදාගත්තේ වයස 63දී. ඒ චිත්‍ර ඇඳලා. වයස 63දී ඇය චිත්‍ර අඳින්න ගන්නේ අහම්බයකින්. 2003 වෙනකල් ඇය ජීවත් වුණේ තරමක් දුෂ්කර කඳුකර පළාතක. පසුකාලීනව ඇය තමන්ගේ පුතණුවන් ජීවත්වුණු ගුවන්සෝ පළාතේ පදිංචියට ගියා. ඇයට පුංචි මිණිබිරියක් හිටියා. චෑන්ග් ආච්චි තමන්ගේ මිණිබිරියට තමන්ගේ ගම් පළාත ගැන විස්තර කිව්වා. නමුත් ඈත ගමක හැඩ හුරුකම් දන්නේ නැති පුංචි දියණියට මේ ආච්චි කියන දේවල් මවාගන්න ටිකක් අමාරු වුණා. මේ බව තේරුම් ගත්ත චෑන්ග් ආච්චි ඒ දේවල් චිත්‍ර විදිහට ඇඳලා පෙන්වන්න ගත්තා. ඇයගේ මුල්ම රසිකාවිය වුණේ තමන්ගේම මිණිබිරිය. ටික දවසක් යද්දී චිත්‍ර ඇඳීම ඇයට පුරුද්දක් වුණා. ඇය දිගටම චිත්‍ර ඇන්දා. කවදාවත් උත්සාහ නොකරපු දෙයකට තමන් ආස වන බව ඇයට දැනුණා. ඒ වගේම තමන්ට හැකියාවක් තියෙන බව ඇයට හැඟුණා.


ඇය වැඩි වැඩියෙන් ඇන්දේ භුමි දර්ශන චිත්‍ර. නේක වර්ණ යොදාගෙන ඇය තමන් අතීතයේ දුටු දේවල් එකදිගට ඇන්දා.තමන්ගේ අම්මගේ හැකියාව දැකපු ඇයගේ පුතා මේ විස්තරය තමන්ගේ බ්ලොග් අඩවියේ පළකළා. බලාපොරොත්තු නොවූ විදිහට එය අනෙක් අය අතරේ සංසරණය වුණා. ඇයගේ චිත්‍රවල සුවිශේෂී කලාත්මක ලක්ෂණ ගැබ්ව තිබෙන බව වෘත්තිමය චිත්‍ර ශිල්පීන්ට නිරීක්ෂණය වුණා. ඔවුන් ඇයගේ චිත්‍ර ගැන විචාර කළා. සුප්‍රකට ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙක් වුණු වින්සන්ට් වෑන්ගෝගේ සිතුවම් ලක්ෂණ ඇයගේ සිතුවම්වලත් ඇති බව ඔවුන් පැවසුවා. 

චිත්‍ර ශිල්පීන්ගේ විචාර සමඟ ඇයගේ සිතුවම් කෙරේ මාධ්‍ය අවධානය යොමු වුණා. ඔවුන් ඇයව හැඳින්වූවේ " චීන වෑන්ගෝ" නමින්. නමුත් ලියන්න කියන්නවත් නොදන්න චෑන්ග් ආච්චි වෑන්ගෝ කියන්නේ කවුද කියලවත් දැනගෙන හිටියේ නෑ. කොහොම වුණත් ඇය වයස 73දී තමන්ගේම කියලා ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවා පවත්වනවා. ඇයගේ චිත්‍ර සුප්‍රකට ගැලරිවල ප්‍රදර්ශනය වෙනවා. චීනයට සීමා නොවී ඇයගේ නම ලෝකයෙත් ජනප්‍රිය වුණා. 


පසුකාලීනව ඇය වෑන් ගෝ නම් සිතුවම් ශිල්පියා ගැනත් හැදෑරුවා. වරක් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ ඇය වෑන්ගෝගේ සහ තමාගේ " සූර්යකාන්ත" සිතුවම් ගැන සංසන්දනයක් කරමින් මෙසේ පැවසුවා. 


" මම හිතනවා වෑන්ගෝගේ සුර්යකාන්ත සිතුවමට වඩා මගේ සිතුවම හොඳයි කියලා. මොකද සුර්යකාන්ත මලේ හැඩය, ජීව ගුණය තියෙන්නේ ඒවා පොළොවේ පිපිලා තියෙද්දී මිසක් මල් පෝච්චියක ඔබලා තියෙද්දී නෙමෙයි". 2010 වසරේදී ජර්මනියේ Leipzig අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී චෑන්ග් ආච්චි ඇඳි සිතුවම් එකතු කළ කෘතියක් එළිදැක්වුණා. ඒ කෘතියේ නම The world of grandma van gogh.


වසර 83ක් ආයු වළඳපු මේ සිත්තරාවිය පසුගිය අගෝස්තු පළමු වැනිදා ජීවිතයෙන් සමුගත්තා. ඇය යන්න ගියත් ඇයගේ ජීවිතය ලෝකයට පාඩමක් ඉතිරි කළා. තමන්ට උරුම තැන හොයාගන්න වයස සාදකයක් නෙමෙයි. ඒක කොහේ හරි හැංගිලා තියෙනවා. සොයන්න. එය නිසැකවම හමු වේවි.


___අයේෂ් ලියනගේ___










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators