Friday, May 8, 2015

ගුවන් නැවක ලෝකේ වටේ

මෙහි දැක්වෙන්නේ ගුවන් නැවකින් නැතිනම් "Graf zeppelin" යානයකින් ලොව වටා ගිය ප්‍රථම ගමන පිළිබඳවයි. ජර්මනියේ Friedrichshafen ගුවන් තොටින් මෙය 1929 වසරේ අගෝස්තු මස 15 වැනි දින ගුවන් ගත වූයේ ලොව වටා ගුවනින් යෑමේ අරමුණ ඇතිවයි. මෙම යානය දීර්ග ගමනක් සඳහා සුදුසු ලෙස නිර්මාණය කරන ලද්දේ Ludwig Dürr නම් ජර්මානු ඉංජිනේරු ශිල්පිය විසිනි . 36 දෙනෙකුගේ කාර්යමණ්ඩලයකින් යුතු වූ මෙම යානය අභ්‍යන්තරය ඉතාමත් සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබූ බව පැවසේ.

ගමන සඳහා සංචාරකයන් 22නෙකු සහභාගී වී ඇති අතර ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ජපානය, රුසියාව, ස්විට්සර්ලන්තය යන රටවල් නියෝජනය කරමින් ඊට සහභාගී වී ඇත. මේ අතර පුවත්පත් මාධ්‍යවේදීන් වූ අතර ඔවුන් මෙම අපූරු සංචාරය ආවරණය කිරීම සඳහා ඊට එක්වූවන් විය. එකම කාන්තා නියෝජනයක් වූ අතර ඇය "ග්‍රේස්" නම් වූ මාධ්‍යවේදිනියකි. ජර්මනියේ දහස් ගණනක් මිනිසුන් එක්ව සුභ පැතුම් එක් කරද්දී ගුවනට දියත් කළ මෙම මහා ගුවන් නෞකාව නැගෙනහිර යුරෝපය දෙසින් ලෝකය වටා ගමන ආරම්භ කරන ලදී.

පෝලන්තය, රුසියාව, ස්ටෙප්ස් තණ බිම් හරහා යූරල් කඳුකරය, සයිබිරියව හරහා වැටී තිබූ එම ගමන අතිශය සෞන්දර්යෙන් පිරි ගමනක් වන්නට ඇති බව ඒ පිළිබඳව වූ පුවත්පත් වාර්තා කියැවීමේදී හැඟී යයි. නැරඹුම් මැදිරි සහ සුවපහසු ආසන සහිත ගුවන් නැව තුළ මගීන් සඳහා අවශ්‍ය සියලූම ආකාරයේ පහසුකම් සපයා තිබුණි. එහි වූ භෝජනාගාරය වර්ග අඩි 280ක් පමණ වූ බව කියැවේ. පොලොව මට්ටමේ සිට අඩි 1800ත් 2300ත් අතර උසකින් යානය ගමන් කළ අතර එය මගීන් හට කිසිදු වෙහෙසක් ගෙන නාවේ අවට වූ සුන්දරත්වය රිසි සේ විඳගැනීමට තිබූ හැකියාව නිසාය.

සයිබීරියාව හරහා අධික ශීතල දරාගනිමින් පැමිණි යානය සකහාලින් දූපත් පසුකොට ජපානයේ ටෝකියෝවට පැමිණි අතර එහිදී ඔවුනට 
ජපන් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය. මෙම යානය නැරඹීමට ජපන් ජනයා 60000ක් පමණ පැමිණි බවද ඔවුන් හසුරුවගැනීමටද විශාල වෙහෙසක් දැරීමටද සිදු වූ බවද සඳහන්ය. දින හතරක් ජපානයේ රැඳී උන් යානය නැවත ගමන් ආරම්භ කරන ලදී. අනතුරුව ඔවුන්ගේ ඊළඟ නැවතුම වූයේ එක්සත් ජනපදයයි. සැන් ෆ්රැන්සිස්කෝ හරහා ලොස් ඇන්ජලිස් නුවරට එන විට ජපානයේ සිට පැය 80ක කාලයක් ගෙවා අවසන්කොට තිබුණි. අනතුරුව ඇමරිකාවේ බටහිර පෙදෙසේ සිට නැගෙනහිර කොටස දක්වා යානය දියත් වූයේ දිනක විවේකයෙන් පසුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් පසු කරමින් සිටි එය විවිද අතුරු ආන්තරා වලටද මුහුණ දෙන ලදී. අධි බලැති විදුලි රැහැන් වල පැටලුණු යානයට හානි සිදු වූ අතර එය බේරා ගැනීමට නියමුවන් විශාල වෙහෙසක් ගන්නා ලදී.

නිව්යෝර්ක් නුවරින් නැවත මඳ විරාමයක් ගත් යානය එහි වූ හානි නැවත පිළිසකරකොටගෙන යුරෝපය බලා පියාසර කරන ලද්දේ සති දෙකකටත් වඩා වැඩි කාලයක සංචාරයකින් අනතුරුවයි. ඒ අනුව බටහිරදිග යුරෝපය හරහා අල්ප්ස් කඳු වලට ඉහළින් ගුවන් නැව යලිත් ගමනේ මූලාරම්භය වූ Friedrichshafen වෙත සේන්දු විය. ඒ වන විට දින 20ක් ඉක්මවා තිබුණු අතර ගුවනේ රැඳී උන් මුළු කාලය දින 14ක් පමණ විය. සංචාරකයන්ගේ අත්දැකීම අනුව එය විටෙක සුන්දරය, විටෙක බිහිසුණුය. ඔවුන් අතරින් වැඩි දෙනා සිහි කරන ලද්දේ කඳුකර ප්‍රදේශ වලට ඉහළින් යානය ගමන් කරන අවස්ථාවන්හිදී දැකගත හැකි වූ චමත්කාරජනක දසුන් පිළිබඳවයි. කෙසේ වෙතත් Graf zeppelin යානා නැවත භාවිතාවට නොගැනීමට හේතු වූයේ 1937 වසරේ සිදු වූ 
අනතුරකි. එහිදී හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 30 ගණනකට ජීවිත අහිමි වූ බැවින් ගුවන් නැව් ලෝකයේ භාවිතය සීමිත විය. නමුත් වර්තමානයේ යුරෝපයේ ඇතැම් රටවල සංකේතාත්මකව මෙම යානය ගුවන්ගත කරන අවස්ථා දැකගත හැකිය.

                                                        ගුවන්ගත වීමට පෙර  

                                                       ජර්මන් අහසේදී 

                                                       ටෝකියෝවට ඉහළින් 



                                                   Hindenburg disaster 1937

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators