Friday, June 5, 2015

ශේක්ෂ්පියර් මනඃකල්පිතද...?


සාහිත්‍ය විෂයයෙහි ඇල්මක් ඇති එහෙත් ශේක්ෂ්පියර් යන නාමය නොදන්නා කිසිවෙකු ඇත්දැයි මම නොදනිමි. ඒ තරමට ශේක්ෂ්පියර් යන නාමය ලෝ පතලය . ඔහුගේ නිර්මාණ අරභයා නවමු කලා කෘති ඉතිහාසය පුරා ප්‍රති නිර්මාණය වූ අතර අනාගතයේදීද තවත් නිර්මාණ බිහි වනු ඇත. ශේක්ෂ්පියර් ගැන නොදැන සිටින්නෙකු වුවත් ඔහුගේ නිර්මාණයක් වන "රෝමියෝ ජුලියට්" ප්‍රේම වෘතාන්තය අසා තිබෙනවා ඇත. වර්ෂ 1590 සිට 1614 දක්වා ෂේක්ෂ්පියර් තම නිර්මාණ ක‍්‍රියාවලියේ යෙදී සිටියේය. මැක්බක්, වැනීසියේ වෙළෙන්දා, ඔතෙලෝ, හැම්ලට් වැනි ලෝ ප්‍රකට වූ විශිෂ්ට නිර්මාණ එම වකවානුව තුළ නිර්මාණය වේ. ඔහුව ලෝකයා හඳුනාගන්නේ ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය ඔස්සේ නමුත් ශේක්ෂ්පියර නැමති මිනිසාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව රසිකයන් හට ඇත්තේ ඉතා අඩු දැනුමකි. ඇතැමෙක්ට අනුව ශේක්ෂ්පියර් යනු මනඃකල්පිතයකි. ඔවුන් පවසන්නේ ශේක්ෂ්පියර් නමින් මිනිසෙකු බ්‍රිතාන්‍යයේ ජීවත් නොවූ බවත් එම නම නිර්මාණ උදෙසා පමණක් භාවිත කළ ආරුඪ නාමයක් බවත්ය.


ඊට හේතු වශයෙන් දක්වන කාරණා තුළ ඔහු විසින්ම ලියන ලද අත් පිටපත් වැනි කිසිදු ලේඛනමය සාක්ෂියක් මෙතෙක් හමු නොවී තිබීම ප්‍රධාන වේ. 1564 වසරේ අප්‍රේල් මස දිනෙක බ්‍රිතාන්‍යයේ "ඇවන්" ගඟ අසබඩ ප්‍රදේශයේ උපන් මෙම වියතාගේ මවුපියන් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. ඔහුගේ මව වංශවත් පවුලක කුල කාන්තාවක් වූ අතරම පියා දේශපාලනයේ නියුතු වුවෙකු විය. මූලික අධ්‍යාපනය පමණක් ලැබූ ශේක්ෂ්පියර් පාසල් සමය තුළ "ලතින් බස සහ ඉංග්‍රීසි ඉතිහාසය" හොඳින් ප්‍රගුණ කළ බව කියැවේ. මූලික අධ්‍යාපනයෙන් එහාගිය අධ්‍යාපනයක් ඔහු ලැබූ බවට ලිඛිත සාක්ෂි හමු වී නැති බැවින්ද ඇතැමුන් නගන පැනයක් වන්නේ මූලික අධ්‍යාපනය පමණක් ලැබූ මිනිසෙකු මහා සාහිත්‍යවේදියෙකු ලෙස නිර්මාණ කෘති බිහි කරන්නේ කෙසේද යන්නයි.



පාසල් සමයේ සිට සැලකිය යුතු තරම් කාලයක් ශේක්ෂ්පියර් පිළිබඳව කිසිදු සඳහනක් සොයා ගැනීමට අපහසු වී ඇත. එම කාල වකවානුව තුළ ඔහු විවිද රැකියාවල නියුතු වී ඇති බවට ඉතිහාසවේදීන් අනුමාන කරයි. ඔහු තමාට වඩා වසර 8කින් පමණ වැඩිමහල් අයෙකු වූ "ඈන් හැතවේ" නම් තරුණිය හා සරණ බන්දනයට පිවිසි අතර ඔහු දාව දරුවන් තිදෙනෙකු  සිටින බවට වාර්තා වේ. 


ඒ 1580 කාල වකවානුවේ වන අතර එයින් කාලයක් ගොස් නැවත ඔහු කරලියට පැමිණෙන්නේ 1590 පසු වී වීම විශේෂත්වයකි. 1590 කාලයේ ලන්ඩන් නුවරට ශේක්ෂ්පියර් පැමිණෙන්නේ සාහිත්‍ය සහ නාට්‍යවේදය වැඩිදුර හැදෑරීමේද අරමුණ ඇතිවයි. එවක ප්‍රකට නාට්‍ය කණ්ඩායමක් වූ Kings men නම් නාට්‍ය කණ්ඩායම සමග එක්ව වැඩ කිරීමට අවස්ථාව ඔහුට හිමි වීම ඔහුගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් ලෙස සලකනු ලබයි. එම වකවානුවේ ඔහු නළුවෙකු ලෙසද කටයුතු කළ නමුත් වැඩි වශයෙන් කැමැත්තක් දැක්වූයේ නාට්‍ය රචනා කිරීමට බව පැවසේ.


ලන්ඩනය තුළ ඔහු ප්‍රකට චරිතයක් බවට පත් වන්නේ නිතැතින්මය. ඔහු ඉතා විශිෂ්ට ලෙස භාෂාව හසුරුවමින් නාට්‍ය රචනයේ සහ අනෙකුත් සාහිත්‍ය රචනා වල යෙදුන අතර මුදල්ද ගලා එන්නට විය. එම වකවානුවේද ඇතැමුන් ඔහුට චෝදනා කොට ඇති අතර ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ ශේක්ෂ්පියර් යනු අනෙක් පුද්ගලයන්ගේ නිර්මාණ සොරාගත් අයෙකු බවයි. එතෙක් පැමිණි සාහිත්‍ය මග වෙනස් කිරීමට ශේක්ෂ්පියර් සතුව තිබූ අසීමිත හැකියාවට ඊර්ෂ්‍යා කළ ඇතැමුන් මෙවන් චෝදනා නැගුවේද යන්නත් විටෙක සැක සහිතය. කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ තුළ වූ චරිත ඉතා දීර්ග හැදෑරීමකට පසුව බිහි වූ පාත්‍රයන් බව චරිත අධ්‍යනයේදී පෙනීයන කරුණකි. විශේෂයෙන්ම මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුවිලි සහ චර්යාවන් මනෝවිද්‍යානුකූල ලෙස විග්‍රහකොට පෙන්වීමට ශේක්ෂ්පියර් සතුව තිබූ දැනුම විශිෂ්ට වේ. ඔතෙලෝ වැනි නිර්මාණ පසු කාලීනව මනෝවිද්‍යාව තුළ කතාබහට ලක් වූයේ ඒ නිසා වන්නට ඇත.
ඇතැමෙකු පවසන්නේ මෙම නිර්මාණ බිහිකළ මිනිසාගේ සැබෑ නම ශේක්ෂ්පියර් නොව වෙනත් නමක් වූ බවයි. පෙර වූ නමින් සාහිත්‍යයේ නියුතු වුවත් ඔහුට ප්‍රසිද්ධියක් හෝ ප්‍රසාදයක් නොලැබූ බැවින් "ශේක්ෂ්පියර්" යන ආරුඪ නාමය ඔහු භාවිතා කළ බවත්ය. එතැන් සිට එම නාමය විලාසිතාවක් ලෙස බ්‍රිතාන්‍ය කලා ලෝකය පුරා පැතිරුණ බව ඔවුන් පවසයි. එය සත්‍යක් වුවත් අසත්‍යක් වුවත් ශේක්ෂ්පියර් යන නාමය අදද එකසේ ජනප්‍රිය නාමයක් වන්නේය. එය ලෝක සාහිත්‍ය පවතිනතාක්ද පවතිනු ඇත.


 _අයේෂ් ලියනගේ_ 

                                   
                              
ශේක්ෂ්පියර් ජීවත් වූ නිවස 

බිරිඳ ඈන් හැතවේ

දරුවන් තිදෙනා 




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators