Wednesday, July 1, 2015

අලි වැඩ කල පොඩි කෙල්ල......

නමින් "සැන්ඩුවන් ලේක්" නම් වූ ඇය තායිලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ උපත ලබන්නේ 1962 වසරේය. ඇයගේ මවගේ පියා නොහොත් සීයා එම ප්‍රදේශයේ ගෝත්‍රික පරම්පරාවකින් පැවත එන ස්වදේශික වෙදැදුරෙකි. එම අභාෂයද සමග කුඩා ලේක් හැදී වැඩෙන්නේ පරිසරය සහ ස්වභාදහම සමග බද්ධ වූ පරිසරයක් තුළයි. වයසින් වැඩෙත්ම ඇය සතුව අපූරු හැකියාවක් ඇති බව ඇයටම දැනෙන්නට විය. ඒ වන විට ඇය සිව් වන විය පසු කළා පමණි. දිනක් අක්කර ගණනක් විශාල ගෙවත්තේ ඇය නිදහසේ ඇවිදිමින් සිටියාය. වත්ත පුරා කෙසෙල් ඇතුළු විවිද භෝග වර්ග වගාකොට තිබූ අතර ඒවා අතර සැරි සැරීම ඇයගේ දෛනික චර්යාවේ කොටසකි. ඉඩමේ තරමක් ඈතට යන විට ඇයට අමුත්තෙකු දැකගත හැකි විය. ඒ අන් කවරෙකුත් නොව විශාල වල් අලියෙකි. ලේක් සිටි තැනම සිට ඒ දෙස බලා සිටියා මිස ඇය බිය වූයේනම් නැත. මේ සද්දන්ත සත්වයා ටිකෙන් ටික ඇය අසලට සමීප විය. තමා අසලට සමීප වූ අලියාගේ හොඬය අතගෑමට ඇය සිය අත දිගු කළාය. කුඩා දැරියගේ සුකොමළ බව හමුවේ කැලෑ අලියෙකු හීල විය. අලියාද ඇයගේ දෑත් සමග තම හොඬ පටලවමින් සෙල්ලම් කිරීමට විය. එම අමතක නොවන අවස්ථාවේ අලි ඇතුන් තමාට අවනත වන බව දැනුන බව ලේක් පසු කලෙක පැවසුවාය.


ලේක්ගේ සීයා වරක් ගෝත්‍රික නායකයෙකුගේ දරුවෙක් හට වැළඳී තිබූ කිසියම් රෝගයක් සුවපත් කළ අතර එයට ගෙවීමක් ලෙස තමා සතුව සිටි අලි පැටවෙක් ලේක් පවුලට තෑගී කළේය. මෙය ලේක් හට විශාල ප්‍රීතියක් ගෙනදෙන කාරණාවක් වූ අතර ඇය මෙම කුඩා අලි පැටවා සමග සැමවිටම තම කාලය ගත කරන්නට වූවාය. ගම් ප්‍රදේශයේ අලි පැටවා සමග සැරිසරන ලේක් ගේ දර්ශනය ගම් වැසියන්ට සාමන්‍ය දර්ශනයක් විය. පාසල් යන්නට මත්තෙන් අලි පැටවා සමග සෙල්ලම් කරන ඇය පාසල් ගොස් පැමිණෙන්නේ කිසියම්ම පළතුරක් හෝ තම මිතුරා වෙනුවෙන් රැගෙනයි. කාලය ගත වන විට දෙදෙනාව වයසින් වැඩෙන්නට විය. අලි පැටවා ශාරීරිකව ඉක්මනින් වර්ධනය විය. එම කාලය වන විට ලේක් අලියා සමග එක් වී ගමේ මිනිසුන්ට යම් යම් උදවු උපකාරද කරන්නටද හුරු වී සිටියාය. ඇය පසු කලෙක පැවසුවේ තමන් කිසි දිනෙක අනෙක් අලින් බලාගන්නා ඇත් ගොවුවන් මෙන් හෙන්ඩු යොදාගෙන බිය වැද්දීමෙන් අලි ඇතුන් සමග ගනුදෙනු නොකළ බවයි. යහපත් වචන භාවිතා කිරීමත් ඔවුනට ආදරය දැනීමට සැලැස්වීමත් පමණක් තමා කළ බව ඇය පැවසුවාය.

පාසල් අධ්‍යාපනය අවසන් කළ ලේක් කලා විෂයන් හැදෑරීම සඳහා උතුරු තායිලන්තයේ Chiang Mai විශ්වවිද්‍යාලයට ඇතුලත්විය. එම කාල වකවානුව තුළ භාහිර ලෝකයේ සිදුවන බොහෝ ක්‍රියාකාරකම් ගැන ඇය දැනුවත් වන්නට විය. විශේෂයෙන්ම අලි ඇතුන්ට මිනිසුන් විසින් සලකලන අකාරුණික ස්වභාවය ඇයගේ අවධානයට ලක් විය. අලි ඇතුන් කඳන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා ආකාරය සහ අනෙකුත් බර වැඩ සඳහා යොදාගන්නා අයුරු දුටු ඇය කම්පාවට පත් විය. වරක් මියන්මාර සහ තායිලන්ත දේශ සීමාවේ සංචාරයක ගිය ඇය දුටුවේ දම්වැල් යොදා බලහත්කාරයෙන් වැඩෙහි යොදවන අලි ඇතුන්ය. ඔවුනට පහර දීම සාමාන්‍ය දෙයක් වූ අතර හෙන්ඩු පහරවලින් තුවාල වූ ඔවුන්ගේ ශරීර දුටු ඇය කඳුළු සලන්නට විය. පීඩාවට පත්ව සිටින ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතු යයි අයගෙ සිත ඇයට නිතරම කියන්නට විය. විශ්ව විද්‍යාලයෙන් පිට වී විවිද රැකියාවල යෙදුනද ඇයගේ මෙම අරමුණ සිතින් නැති වූයේ නැත.

අලින් පෙන්වා මුදල් ඉපයීම තායිලන්තයේ ප්‍රධාන සංචාරක ප්‍රවර්දන කටයුත්තකි. දිනක් කුඩා අලි පැටවෙකු යොදා ගනිමින් සංචාරකයන් පිනවන අවස්ථාවකදී ඔවුන් හට අලි පැටවාට කෙසෙල් වැනි පළතුරු කැවීමට අවස්ථාව ලබා දී තිබුණි. ඒ සඳහා මුදල් අය කළ අතරම එම කටයුත්ත අලි පැටවාට කරදරයක් බව ඔහුගේ හැසිරීමෙන් ලේක් අවබෝදකොට ගත්තාය. විවිද භාෂා කතා කිරීමේ හැකියාව ඇයට තිබූ බැවින් ඇය එහි වූ සංචාරකයන් හට මෙය නොකළයුත්තක් බව පැහැදිලි කළාය.තවදුරටත් ඇය කිසියම් සඳහනක් සහිත බෝර්ඩ් ලෑල්ලක්ද ඒ අසලා රැඳවිය. නමුත් මෙය ලේක් හටනම් හොඳ ප්‍රතිපලයක් අත් කළේ නැත. අලි පැටවාගේ හිමිකරුවන් කුපිත වී ඇයට මැර ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් පසුව මසකට ආසන්න කාලයක් රෝහල්ගත වී සිටින්නට ඇයට සිදු විය. මෙය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. තව දුරටත් මෙම අසරණ සතුන් වෙනුවෙන් කැප වන බවට ඇය තද තීරණයකට එළඹියාය. සත්ව ක්‍රියාකාරීන් සමග එක්ව ස්වේච්ජා සංවිධානයක් ආරම්භ කරන්නට යෙදුන ඇය සිය හඬ ලෝකයට පැතිරුවාය.

විටෙක ඇයගේ ක්‍රියාකාරකම් සංචාරක කර්මාන්තයට පවා අභියෝග එල්ල කරන්නට තරම් ප්‍රභල විය. ලොව පුරා සිටින සත්ව හිංසනය පිටුදකින මිනිසුන්ගේ සහාය ඇයට හිමි විය. මරණ තර්ජන පවා මෙම වකවානුවේ ඇයට එල්ල වුවත් ඒවා සැලකිල්ලට ගැනීමට තරම්වත් ඇය සිය කාලය මිඩංගු නොකළාය. ඇය දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස අසරණ වූ සහ වයස්ගතව රෝගී වූ අලි ඇතුන් වෙනුවෙන් නවාතැන් ලබා දීමට අවශ්‍ය බිම් භාගයක් රජයෙන් ඇයට හිමි විය. කෙසේ වෙතත් එය පවත්වාගෙන යෑමට ඇයට සිය පෞද්ගලික ධනය පවා වැය කිරීමට සිදු වූවාය. එහි ප්‍රතිපලයක් ලෙස 1996 වසරේ Elephant Heaven Nature Park නමින් ඇත් අතුරු සෙවනක් ආරම්භ විය. එය නොනවතින ක්‍රියාවලියක ආරම්භය වූ අතර 2003 වසරේදී ඇමරිකානු රජයේද ආධාර ඇතිව Elephant Nature Park නමින් එය ප්‍රතිස්ථාපනය කරන ලදී. අදටත් මෙය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යන අතර ලේක්ගේ සිහිනය සැබෑ විය. 
අද වන විට අසරණ වූ සත්වයන් සිය දහස් ගණනකට මෙම ඇත් අතුරු සෙවනේ පිහිට ආරක්ෂාව හිමි වී ඇත. වයස අවුරුදු 5දී උතුරු තායිලන්තයේ වනගත පෙදෙසකදී දැවැන්ත සද්දන්තයෙකු ඇය ඉදිරියට පැමිණි වෙලේ මේ තරම් දුරක් එම ලෙන්ගතුකම ඇදී යාවියැයි ඇය නොසිතන්නට ඇත. ඇතැම් විට එම දැවැන්තයා තම සමස්ථ පරපුරේම ආශිර්වාදය ඇය වෙත එදින පුද කරන්නට ඇත.

_අයේෂ් ලියනගේ_








2 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators