Tuesday, August 18, 2015

මැන්ඩෙලාගෙන් උගත යුතු දේශපාලනය

අපි දේශපාලනික වශයෙන් අතිශය උණුසුම් සහ උද්යෝගිමත් අවස්ථාවක් පසුකරමින් සිටිමු. ජයග්‍රාහකයින් , පරාජිතයින් සියල්ලෝම එක් රටක පුරවැසියෝය. පත් වන්නන් පුරවැසියන්ගේ සේවකයන්ය. ඔවුන් දෙවිවරු නොවෙති. ඔවුන්ගේ දෙවිවරු වන්නේ ජනතාවයි. මේ ඔවුන් ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමන අවස්ථාවයි. අපේ රටෙනම් දිවුරුම් දෙනකං ඔවුන් පරමාධිපත්‍යට හිස නමයි. එතැන් සිට ඔවුන් ඔවුන්ගේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරයි. මෙරට බහුතරයක් පරමාධිපත්‍යයේ ඇති බලය නොදනී. අපේ රටේ දේශපාලකයන්ගේ නම් සිහිකරනකොට මට ඉබේම නෙල්සන් මැන්ඩෙලාව මතක් උනා. 27 වසරක සිර දඬුවමක් විඳලා 1994 වසරේ බලයට පැමිණ වසර 4ක් ඇතුලත ස්ථාවර රාජ්‍යක් නිර්මාණය කොට ඔහු 1999 වසරේ නික්ම ගිය අයුරු මට සිහිවෙන්නේ එතුමන් පිළිබඳව උපන් ගෞරවයක් එක්ක. ඔහුගේ ජීවිතය ඇතුලෙන් සහ දේශපාලන විදික්‍රම තුළින් අපේ දේශපාලකයන් ඉගෙන ගන්නවානම් උගත යුතු පාඩම් අප්‍රමාණයි.


1918 ජූලි 18 වනදා උපන් මැන්ඩෙලා අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව 1944 වසරේදී දී අප්‍රිකානු ජාතික කොංග්‍රස් ලීගය ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙයි. තම ස්වදේශික වර්ගයා වෙනුවෙන් සහ වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගීමේ වරදට ඔහු 1963 වසරේ වසර 27ක සිර දඬුවමකට යටත් වන්නේ අභූත චෝදනා රැසක් හේතුකොටගෙනයි. 1990, පෙබරවාරි මස 11 වන දින දශක දෙකකටත් වැඩි කාලයක් සිරබත් කෑ මැන්ඩෙලා සිරෙන් නිදහස් වන්නේ ජාතික ප්‍රතිසංස්කරණ සඳහා උර දීමේ අරමුණින් මිස පෙරලා තම ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීමේ අරමුණින් නොවේ. ඔහුගේ චරිතයේ වූ අතිශය වටිනාම චරිත ලක්ෂණය වූයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් තලා පෙලා දැමීමට කිසි විටෙකත් උත්සාහ නොගැනීමයි. ඒ ගාන්ධි දර්ශනය ඔහුට කියාදුන් පාඩමයි. එහි කූටප්‍රාප්තිය වන්නේ 1993 වසරේ ඔහු සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමයි.


1994 වසරේ ඔහු එරට ප්‍රථම කළු ජාතික ජනාදිපතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ ඔහු කළ මුල්ම කාර්යයක් නම් රටේ සියළුම ජනමාධ්‍ය කැඳවා ඉතිහාසයේ නායකයෙකු කළ ගෞරවනීයම ඉල්ලීම සිදු කිරීමයි. "කළු ජාතික ජනතාව ඉතා උද්යෝගයෙන් සිටින මේ අවස්ථාවේ සුළු ජාතියක් වූ සුදු ජාතිකයන් හට ඔවුන්ගෙන් සිදු විය හැකි තාඩන පීඩන බොහෝමයි. සුදු ජාතිකයින් අපට කුමන ආකාරයකින් සැලකුවත් අප ඔවුනට එලෙස සැලකිය යුතු නැහැ. එම නිසා කිසිම ආකාරයකින් ගැටුමකට තුඩු දෙන ආකාරයේ වර්ණභේදවාදී ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොකළ යුතුය. ජාතික සමගිය ආරක්ෂා කරන ආකාරයේ දේවල් පමණක් පළ කිරීමට කාරුණික වන්න." මේ ඔහුගේ ඉල්ලීමයි. ඒ තුළම ඔහුගේ අභ්‍යන්තරයේ ජීවත් වූ සැබෑ මානව හිතවාදියා මතු විය.



"මාගේ එකම සිහිනය වූයේ සැමට සමාන අවස්ථා ඇති සියලු දෙනා සමගියෙන් ජීවත්වන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ නිවහල් සමාජයක්. එය දිනා ගැනීමටත්, ඒ මත ජීවත්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් ඒ උදෙසා මිය යෑමටත් මා පසුබට වන්නේ නැහැ." මේ ඔහුගේ ප්‍රකට කියමනකි. වයස 75 දී සමස්ථ දකුණු අප්‍රිකාවෙන්ම 62%ක ජනවරමක් ලබමින් ඔහු ජනපති ලෙස පත් වුවත් සිය දූර කාලය වූ වසර 4 අවසන්කොට 1999 වසරේදී ඔහු තම ජනපති දූරයට සමු දෙනවා. නමුත් සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඔහු තමා ජීවිතයේ අවසන් කාලයත් කැප කිරීමට තීරණය කළේය. ඔහුට නැවත නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා ලැබුනද ඔහු නැවත දේශපාලනයට පැමිණීමට කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් අප්‍රිකානු ජනතාව තම සදාකාලික නායකයා ලෙස නෙල්සන් මැන්ඩෙලාව සලකනු ලැබුවා. ඔහු දකුණු අප්‍රිකානු ජාතියේ පියා බවට පත් වන්නේ මෙවන් සිද්ධි දාමයක ප්‍රතිපලයක් ලෙසයි. මැන්ඩෙලා නම් එම අසහාය නායකයා 2013 වසරේ දෙසැම්බර් 05 වන දින මිය යන්නේ මානව හිතවාදී දේශපාලනයකට ජීවමාන ආදර්ශයක් දුන් මිනිසෙකු ලෙසයි.

" ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි හොඳම අවිය වන්නේ අධ්‍යාපනයයි......."
            Nelson Mandela


_අයේෂ් ලියනගේ_ 




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators