Saturday, August 15, 2015

සිනහව ගෙනා මිනිසා

ඒ 1963 වසරයි. ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් හි Worcester හි තිබූ තරමක් ප්‍රකට ජීවිත රක්ෂණ සමාගමකි. එම සමාගමේ විධායක නිලධාරීන් හට තිබූ ගැටළුවක් වූයේ ප්‍රවර්ධන නිලධාරීන්ගේ තිබූ දුර්වල අලෙවිකරණ රටාවයි. ඔවුන්ගේ සෘණාත්මක චරිත ස්වභාවයන් වෙනස් කිරීමට පාලනාධිකාරිය විවිද උත්සාහයන් ගෙන තිබුණි. බොහෝ උත්සාහයන් අසාර්ථක වූ තැන ඔවුන් අතරින් සිටි එක් විධායක නිලධාරියෙක් එම ආයතනයේම සේවය කළ ග්‍රැපික් නිර්මාණ ශිල්පියෙකුගෙන් විමසනවා මේ උදාසීන වැඩපළ වෙනස් කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සොයාගත හැක්කේ කෙසේද කියා...? නමින් Harvey Ball නම් වූ මේ ග්‍රැපික් ශිල්පියා මදක් කල්පනා කොට විනාඩි 10ක් ඇතුලතදී ඉතා සරල නමුත් සිත්ගන්නාසුළු සිතුවමක් නිර්මාණය කරනවා. එහි වූයේ සිනාසෙන මුහුණකි. Harvey Ball එදින නොසිතන්නට ඇති එම සිනහ මුහුණ නැතිනම් සැවොම අතරම ප්‍රසිද්ධ නමින් පැවසුවහොත් "The Smiley Face" යනු ලොව වඩාත්ම ආකර්ශනීය සිනහ මුහුණ බවට පත් වනු ඇති කියා. (The most recognizable symbol of the decade)


ආයතනය තුළ තැන තැන සවි කළ සිනාසෙන මුහුණු සේවකයන් හට නව පණක් ගෙනදෙන ලදී. ආයතනේ පෙර තිබූ උදාසීන ස්වභාවය පහව ගිය අතර සේවකයන් නව ඇරඹුමකින් සිනාමුසු මුහුණින් සිය සේවාව නොපිරිහෙලා ඉටු කරන්නට විය. ආයතනයේ අරමුණ සාක්ෂාත් වීමත් සමග භාහිර සමාජය තුළත් Smiley Face සීග්‍රයෙන් ප්‍රචලිත වන්නට විය. 1972 සමයේ මෙම සිනා මුහුණ සටහන් කළ බොත්තම් (buttons) ඉතා ජනප්‍රිය විය. එවැනි බොත්තම් එම වකවානුවේ මිලියන 50ක් අලෙවි වූ බව වාර්තා වන අතර තවද සිනා මුහුණ රැගත් ටී ෂර්ට්, අත් ලේන්සු, කැප් තොප්පි ආදී අනේකවිද භාණ්ඩ වෙළඳපොල තුළ ජනප්‍රිය විය. අනෙකුත් ආයතනනද Smiley Face හරහා සේවක උද්යෝගය වර්ධනය කිරීමට උත්සුක විය. වර්තමානයේ පවා සමාජ ජාල වෙබ් අඩවි වල ජනප්‍රිය Chat Smiley Face සඳහාද පාදක වන්නේ මෙයයි.


මෙම සිනා මුහුණ නිර්මාණය කළ Harvey Ball නම් නිර්මාණ ශිල්පියා යනු එක් අතකින් අපූරු චරිතයකි. මන්ද ඔහු තමා අතින් කළ මේ නිර්මාණය මේ සා විශාල ජනප්‍රියත්වක් ලබා ලොව පුරා විවිද අයුරින් අළෙවි වුවද ඔහු එයින් කිසිදු ආර්ථික ලාබයක් උපයා නොගත් නිසයි. 1921 වසරේ උපන් ඔහු Worcester Art Museum ආයතනයෙන් චිත්‍ර කලාව විෂයයක් ලෙස හැදෑරු අයෙකි. දෙවන ලෝක යුද්ධයටද සහභාගී වූ මොහු එයින් පසුව විවිද දැන්වීම් ආයතන වල චිත්‍ර ශිල්පියෙකු ලෙස බොහෝ කලක් සේවය කොට ඇත. ඔබගේ මෙම ප්‍රසිද්ධ නිර්මාණය වෙනුවෙන් කිසිදු ලාබයක් නොලැබීම ගැන ඔබ දුක් නොවන්නේදැයි වරක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙන්මයි. "ලෝකයම මගේ නිර්මාණය නිසා සිනාසෙනවානම්, ඔවුන් සතුටු වනවානම් මටත් එයින් සතුටු විය හැකියි. සතුට මුදලින් මිලදී ගත නොහැකියි" ඒ ඔහුගේ ජීවිත දැක්මයි. ලෝකයට සිනහවක් රැගෙන ආ මේ මිනිසා 2001 වසරේ අප්‍රේල් මස 12 වැනි දින ලෝකය හැර යනවා. නමුත් ඔහුගේ නමින් ඇරඹු "World Smile Foundation" නම් ස්වේච්ජා ආයතනය 
අදටත් ලෝකයේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වේ. එම ආයතන විසින් සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සිකුරාදාව "World Smile Day" ලෙසද නම් කරන ලදී.


_අයේෂ් ලියනගේ_










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators