Thursday, September 17, 2015

අත අත නෑර ආ දිවි මග - Ron සහ Eileen

මෙය බ්‍රිතාන්‍යයෙන් ඇසුණු සත්‍ය කතාවකි. සැබෑ ආදර කතාවකි. මෙවන් කතා අප බොහෝ විට සිනමාපටයක හෝ නවකතාවක දැක තිබෙන්න පුළුවන්. නමුත් එවන් කතා කල්පිතයන් ලෙස පිළිගැනීමට අප හුරු වී සිටිනවා. කල්පිතයක් නොවී සැබෑ ලෝකය තුළත් අහම්බයෙන් හෝ සැබෑ ආදර කතාවන් ඇති බවට මෙය හොඳම නිදසුනක්.


Ron සහ Eileen Everest උපත ලබන්නේ බ්‍රිතාන්‍යයේ Gillingham, Kent ප්‍රදේශයේ වූ එකම මාතෘ සායනයකයි. මොවුන්ගේ මාපියන් පවා එකිනෙකා හඳුනාගෙන සිටියේ එකම ප්‍රදේශයක ජීවත් වූ නිසයි. වයස අවුරුදු හතරක් වූ විට ඔවුන් දෙදෙනා නගරයේ තිබූ එක්තරා සැණකෙළියකදී "මල් කුමරිය සහ මල් කුමරා" ලෙස නිරුපණයේ යෙදෙන්නේද එම හිතවත්කම හේතුකොට ගෙනයි. මොවුන් දෙදෙනාගේම පියවරුන් පළමු ලෝක යුද සමයේදී සොල්දාදුවන් ලෙස එකට යුද වැදුනු බටයන් වීම එම හිතවත්කම වර්ධනය වීමට හේතුවයි. කෙසේ හෝ කල්යත්ම ඔවුන් දෙදෙනාට වෙන් වීමට සිදු වන්නේ සිය පවුල් විසින් පදිංචිය වෙනස් කිරීමට ගන්නා තීරණය නිසාය. Ron ගේ දෙමාපියන් ස්කොට්ලන්තය බලා පිටත්වන අතර Eileen සහ ඇයගේ පවුල දකුණු ලන්ඩනය බලා පිටත්ව යයි. එතැන් සිට වසර 14ක් ගත විය. කෙසේ වෙතත් ඔවුන් සිය පවුල් දෙක අතර එම වසර ගණනාව ඇතුලතම ලිපි මගින් ඔවුනොවුන් ගැන තොරතුරු විමසීමටද හුරු වී සිටියහ.


මේ වන විට 18 වන වියෙහි පසු වූ Eileen රෙදි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියාය. එවකට දුරකථන භාවිතා වූ නමුත් ඒ ඉතා සීමිත භාවිතාවක් පමණි. Eileen හට වරක් දුරකථනය භාවිතා කිරීමට අවස්ථාවක් හිමි වූ අතර ඇය ස්කොට්ලන්තයේ සිටින තම හිතවත් පවුලට දුරකථන ඇමතුමක් ලබා දීමට තීරණය කළාය. දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ කුඩා වියේ තම මිතුරා වූ Ron ගේ මවයි. ඔවුන් ඉතා ආදරයෙන් අදහස් හුවමාරු කරගත් අතර දුරකථන ඇමතුම ඔවුන්ගේ සබඳතාවය තවත් වර්ධනය කරන්නට විය. Ron සමගත් කිහිපවිටක්ම දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීමට Eileen හට අවස්ථාව හිමි විය. කුඩා කළ පැවති හිතවත්කම කාලයත් සමග ආදරයකට පෙරලී ඇති බව ඔවුනොවුන්ට වැටහෙන්නට විය.


ඒ 1940 වසරයි. දෙවන ලෝක යුධ සමයද ආරම්භ වූ අතර යුරෝපය පුරා යුද ගිනිදැල් ඇවිලී යන්නට විය. ඒ වනවිටත් ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කරගත් නමුත් සිරකරගත් ආදරය එකිනෙකාට ප්‍රකාශ කළේ නැත. Ron හට සොල්දාදුවෙකු ලෙස යුද්ධයට සහභාගී වීමට සිදු විය. ඊට පෙර තම සිතෙහි ඇති අදහස ඇයට ප්‍රකාශ කළ යුතුයැයි සිතූ ඔහු දීර්ග ලිපියක් ලියා අවසානයේ ඇයට ලිපිය ඔස්සේම විවාහ යෝජනාවක්ද ඉදිරිපත් කළේය. ඇය එම ඉල්ලීම පිළි ගත්තාය. අනතුරුව 1943 වසරේ ජුනි මස 7 වැනි දින ඔවුන් විවාහයට එළඹුණි. 1943 වසරේ ඇරඹුනු විවාහ දිවියේ 70 වන සැමරුම 2013 වසරේ සැමරීමට ඔවුන් දෙපළ කටයුතු කරන ලදී. එහිදී ජීවිතයේ අවසන් භාගයේ සිටිනා Ron මෙසේ පැවසීය


" අපේ ආදරේ පටන් ගන්න ඇත්තේ අපි ඉපදෙන්නත් කළින් වෙන්න ඕන. ඒකයි අපි එකම ඉස්පිරිතාලෙක ඉපදිලා එකට ළමා කාලයත් ගත කලේ. පස්සේ කාලෙක වෙන් වෙලා ඉන්න උනත් අපේ මතකය කිසි දවසක හිතින් අමතක වුනේ නැහැ." එහිදී ඊට අමතර අදහසක් එක් කළ Eileen පවසා සිටියේ " මට තවමත් මතකයි Gillingham සැණකෙළිය දවසේ අපි දෙන්න මල් කුමාරයයි මල් කුමරියටයි පෙනී සිටි ආකාරය. ඒක මේ දැන් සිදු වූ දෙයක් වගේ. කාලය ගියා දැනුනේ නැහැ. අපි දැන් වයසයි. ඒත් ආදරය පරණ උනේ නැහැ කවදාවත්" අනතුරුව ඇය කිසියම් කොළයක් වැනි දෙයක් ගෙන එහි පැමිණ සිටි පිරිසට පෙනෙන සේ එය දිග හරිනු ලැබුවා. " මේ තමයි 1940 අවුරුද්දේ Ron මට විවාහ යෝජනාව කරපු ලියුම. අවුරුදු 70ක් පුරාවට ඒක මගේ ළඟ තිබුණා. මම ඒක අදටත් ආරක්ෂා කරනවා" එම අවස්ථාවේ ඇයගේ දෑසේ අග කඳුළු බිඳුවක් විය. Ron ඇයව තරයේ වැළඳ ගත්තේය.



_අයේෂ් ලියනගේ_






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators