Wednesday, September 9, 2015

සිහිනයක් හඹා ගිය මිනිසෙක් - Sylvester Stallone

සිල්වෙස්ටර් ස්ටැලෝන් කියූ පමණින් ඔහුගේ නම නොදන්නා හොලිවුඩ් රසිකයෙකු සොයා ගැනීමත් අපහසුයි. එනමින් නොදැන සිටියත් "රැම්බෝ" "රොකී" යන චරිත නාමයන්ගෙන් හෝ ඔහුව ඕනෑම රසිකයෙකු හඳුනනවා. මෙම ලෝ ප්‍රකට නළුවාගේ සිනමා ජීවිතය ආරම්භ වූ ආකාරය ඇතැමෙක් නොදන්නවා වෙන්නට පුළුවන්. එම නිසා මෙම සටහන තබන්නේ ඔහුගේ ජීවිතයේ එක්තරා අපහසු කාල පරිච්ජේදයක් ගෙවී ගිය ආකාරය පිළිබඳව ඔබගේ දැනගැනීම පිණිසයි.

එක්තරා අවස්ථාවක ස්ටැලෝන් මුදල් හිඟකමක් හේතුවෙන් තම බිරිඳ සතු වූ ආභරණ කිහිපයක් හොරෙන් විකුණා මුදල් ලබා ගැනීමට කටයුතු කොට ඇත. මෙම සිදුවීම ඔහු සහ බිරිඳ අතර ගැටුමකට හේතු වූ අතර එය දුරදිග ගොස් අවසානයේ ස්ටැලෝන් හට ජීවත් වූ නිවසද අහිමි විය. අවසානයේ ඔහු නිවසක් අහිමි මිනිසෙකු ලෙස මහමගට ඇදවැටුනි. ඔහුගේ තනි නොතනියට අවසානයේ ඉතිරි වූයේ ඔහු ඇති දැඩි කළ සුරතල් බල්ලා පමණි. නිව් යෝර්ක් නුවර බස් නැවතුමක දින තුනක් රැය ගත කළ ඔහුට ආහාර පිණිස වියදම් කිරීමටවත් මුදලක් සතු වූයේ නැත. අවාසනාවන්ත තත්වය වූයේ ඔහුගේ බල්ලා හටවත් අහාර ස්වල්පයක් මිළදී ගැනීමට ඔහු සතුව ඩොලරයක්වත් නැති වීමයි. අවසානයේ ඔහු තීරණය කරන්නේ තම බල්ලා කාට හෝ විකුණා දැමීමටයි. එය ඔහුට හිත් වේදනා ගෙන දෙන සිදුවීමක් වුවත් බල්ලා තවදුරටත් කුසගින්නේ තැබීමට ඔහුට කොහෙත්ම අවශ්‍ය නොවීය. දිනක් තැබෑරුමක් අසලදී හමු වූ නන්නාදුනන මිනිසෙකුට ඔහු බල්ලා විකුණා දමන්නේ ඩොලර් 25ක් තරම් වූ ඉතා සොච්චම් මුදලකටයි. කඳුළු සලමින් තම සුරතලා වෙනෙකෙකුට විකුණා දමන ඔහු පිටවී යන්නේ දැඩි වේදනාවකින්.

එයින් සති දෙකකට පසුව අයාලේ ඇවිදයන අතරතුර ඔහු දකිනවා බොක්සින් තරඟයක දැන්වීමක්. එය සුප්‍රකට බොක්සින් ක්‍රීඩකයන් දෙපලක් වූ "මොහොමඩ් අලී" සහ "චක් වෙප්නර්" අතර වූ තරඟයකි. මෙය අහම්බයෙන් නැරඹීමටද ඔහුට අවස්ථාවක් උදාවන අතර මෙම තරඟය අවසානයේ ඔහුගේ සිතට අපූරු හැඟීමක් දැනෙන්නට පටන් ගන්නවා. ස්ටැලෝන් යනු ලේඛන හැකියාව ඉහළින් ඇති මිනිසෙක්. ඉතිං අවසානයේ ඔහු තීරණය කරනවා බොක්සින් ක්‍රීඩාව ඇසුරෙන් කිසියම් තිර පිටපතක් රචනා කිරීමට. පැය 20ක් ඇතුලත ඔහු තිර පිටපත ලියා අවසන් කරනු ලබයි. එය සාර්ථක වන අතර එම කතාවේ චරිත නායකයා වන්නේ "රොකී" නම් බොක්සින් ක්‍රීඩකයෙකි. රොකී ලෙස එම කතාව නම් කරන ඔහු එය රැගෙන යන්නේ සිනමාපට නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වෙතයි. ඒ සඳහා ඔහු ඩොලර් 125,000 මිළක් නියම කරන්නේ තවත් එක් කොන්දේසියක්ද සමගයි. එනම් තිර පිටපතේ එන ප්‍රධාන චරිතය වන "රොකී බැල්බෝවාගේ" චරිතය නිරූපනය කිරීමට තමන්ට අවශ්‍ය බව කීම ඔහු ඉදිරිපත් කළ කොන්දේසියයි. නිෂ්පාදන ආයතනය මෙම පිටපතට බොහෝ සේ කැමැත්තක් දැක්වුවත් ඔහුගේ ඉල්ලීමට එකඟ වූයේ නැත. ඔවුන් පැවසුවේ මෙම චරිතය ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු යොදාගෙන සිදු කළ යුතු බවයි. ස්ටැලෝන් නැවත නැවත ඉල්ලීම් කලද එය ප්‍රතික්ෂේප කළ ඔවුන් පැවසුවේ "ඔබට තිබෙන්නේ විහිළු පෙනුමක්. අනෙක ඔබ කතා කරන විටත් හාස්‍යජනක පෙනුමක් තමයි පේන්නේ. ඒ නිසා මේ චරිතයට ඔබට වඩා හොඳ නළුවෙකු යොදා ගන්න අවශ්‍යයි"

මේ ප්‍රකශය ඔහුට වේදනාවක් ගෙන දුන් නමුත් ඔහු එයින් අධෛර්යයට පත් වූයේ නැහැ. සිදුවූයේ එම පිටපත ඔවුනට විකිණීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඔහු පිටවී යනවා. නමුත් නිෂ්පාදක සමාගමට එය පාඩුවක් බව වැටහෙන්නට බොහෝ කාලයක් ගත වූයේ නැත. සති කිහිපයකට පසුව නිෂ්පාදන සමාගම ඔහුට විශේෂ මිළ ගණනක ඉදිරිපත් කරනවා. ඒ ඩොලර් 250,000කට ඔවුන් එය මිළදී ගැනීමට කැමති බව ප්‍රකාශ කරමින්. නමුත් ඔහුව ඊට ඇතුල් කර නොගන්නා කොන්දේසිය මත. ස්ටැලෝන් එම අවස්ථාවේදීත් එය ප්‍රතික්ෂේප කරනවා. නැවතත් ඩොලර් 350,000ක මුදලට එකඟ වේද යන්න විමසයි.එහෙත් ඔහු එම මුදලද ප්‍රතික්ෂේප කරන්නේ තමාට තම නිර්මාණයේ ප්‍රධාන චරිතය සිදු කිරීමට අවශ්‍ය බව දැඩි ලෙස ප්‍රකාශ කරමින්. නිෂ්පාදන සමාගමට වෙනත් විකල්පයක් නොවීය. නළුවා අවශ්‍ය නොවුනත් පිටපත ඔවුනට අත්‍යවශ්‍ය වුනා. කෙසේ වෙතත් අකමැත්තෙන් හෝ නිෂ්පාදන සමාගමට ඔහුගේ ඉල්ලීමට එකඟ වන්නට සිදු වනවා. මහමග නිදාගත්, අයාලේ ඇවිදගිය ස්ටැලෝන් නම් මේ මිනිසාගේ පිටපත සිනමාවට නැගෙනවා. අවසානයේ ඔහු තමා විසින්ම ගොඩ නැගූ චරිතය වන "රොකී බැල්බෝවාගේ" චරිතයට පැන පොවන්නේ දැඩි කැප කිරීමක ප්‍රතිපලයක් ලෙසයි.


1976 වසරේ දෙසැම්බරයේ 3 වන දින මෙම සිනමාපටය ප්‍රදර්ශනය අරඹනවා. නිෂ්පාදකයින් බිය වූයේ නවක නළුවෙක් වූ විසුළු පෙනුමැති ස්ටැලෝන් නිසා මෙම සිනමාපටය ආදායම් නොලබා අසාර්ථක වනු ඇත කියාය. නමුත් නොසිතූ විරූ ලෙස සිනමාපටය ජනප්‍රිය වන්නට විය. ඇමරිකාව තුළත් ඉන් පිටතත් රොකී උමතුවක් නිර්මාණය විය. නිෂ්පාදකයින් පුදුමයෙන් පුදුමයට පත් විය. අවසානයේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ මෙමා සිනමාපටය 1977 වසරේ පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙලේදී Best Picture, Best Director, Best Film Editing යන නිර්දේශ යටතේ ඔස්කාර් සම්මාන තුනකින් පිදුම් ලැබීය. ස්ටැලෝන් හොඳම නළුවා සම්මානයට නිර්දේශ විය. American National Film Registry විසින් "රොකී" සිනමාපටය එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සිනමාපට ගොන්නටද ඇතුලත් කරනුයේ එහි වූ විශිෂ්ටත්වය නිසාමය. තම පිටපතින් බිහි වූ "රොකී" චරිතය ස්ටැලෝන් ලොව පුරා සිනමා රසිකයන්ගේ හදවත් තුළ තරුවක් බවට පත් කරන ලදී. වටිනාම සිදුවීම සිදු වන්නේ ඉන් පසුවයි.


ඔහු නැවත යනවා තමා සිටි තැනටම. ඒ වෙන කිසිවකට නෙමෙයි කිසිවක් නැති කාලයේ තමාගේ තනි නොතනියට සිටි තම සුරතල් බල්ලා සොයාගැනීමටයි. තමාට නැති බැරි අවස්ථාවේ ලඟින් සිටියේ බල්ලෙක්ද ඌට උවද කෘතගුණ සැලකීමට සිතීම මනුෂ්‍ය ස්වභාවයයි. ඔහු තමා විසින් බල්ලාව නාඳුනන මිනිසෙක්ට විකිණූ තැබෑරුම අසල දවස් 3ක් රැඳී සිටියේ එම නාඳුනන මිනිසා සොයා ගැනීමටයි. එම උත්සාහයද අවසානයේ සාර්ථක විය. බල්ලා සමග ඇවිද ආ මිනිසා සොයාගැනීමට ඔහුට හැකි විය. ස්ටැලෝන් හට නැවත බල්ලා ලබා ගැනීමට අවශ්‍ය විය. චිත්‍රපටයෙන් උපයාගත් මුදල් ඒ වන විටත් ඔහු සතු විය. තමා බල්ලා විකිණූ හේතුව පහදා දුන් ඔහු නැවත බල්ලා ඉල්ලා සිටියේය. නමුත් එම නාඳුනන මිනිසා එය ප්‍රතික්ෂේප කළේය. ස්ටැලෝන් ඩොලර් 100ක් ලබා දීමට කැමති විය. නමුත් නාඳුනන මිනිසා එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. ඩොලර් 1000ක්. නැත එයද ප්‍රතික්ෂේප විය. කෙසේ හෝ අවසානයේ ස්ටැලෝන් තම පරණ සුරතලා මිලදී ගන්නවා. ඒ ඩොලර් 15000ක් තරම් විශාල මුදලකට. මුදල් නැති සමයේ කෑමට යමක් නොමැතිව වුවද තමා අසල වැතිරී සිටි බල්ලා ඔහුට ඩොලර් 15000කට වඩා වටිනා බව ස්ටැලෝන් පෙන්වා තිබෙනවා.

ජීවිතය යනු අරුම පුදුම දෙයකි. ජීවිතය ගැන කිසිදිනෙක පූර්ව නිගමන දිය නොහැක. ජීවිතය වෙනස් කළ හැක්කේ එක් අරමුණක් වෙනුවෙන් කැප වීමෙන් පමණක් බවට එක් නිදසුනක් ස්ටැලෝන්ගේ ජීවිතයෙන් ගත හැක. අද ඔහු මිලියන ගණනින් ආදායම් ලබන හොලිවුඩ් තරුවකි. තරු අතර තරුවකි. ඔහු තරුවක් වීමේ වටිනාකම ඇත්තේ හොලිවුඩයේ බෙවර්ලි හිල්ස් හි සුවපහසු නිවහනක සයනය මත නොව නිව් යෝර්ක් නුවර පොදු බස් නැවතුමක සීතල පොළොව මතයි............


_අයේෂ් ලියනගේ_






                                    තාලියා ෂයර් සමග රොකී සිනමපටයේදී ගත් සේයාරුවකි






1 comment:

  1. අපි හැමෝටම හීන තියනවා ඒත් අනන්තයටම අන්තිම දාරයටම ඒවා පසුපස හබායන්නවුන් විරලයි

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators