Friday, September 4, 2015

විප්ලවය "චේ" ගේ ඇසින්.....

චේ ගුවේරා පිළිබඳව පෙරදිග ආසියානු සමාජය තුළ නිර්මාණය කර ඇති ප්‍රතිරූපයට සාධාරණයක් ඉෂ්ට වී නැතැයි බොහෝ අවස්ථාවන්හිදී මට අවබෝද වී ඇත. එයට හේතු ලෙස "විප්ලවය" නම් වූ සමාජ පෙරළිය අප වැනි පෙරදිග සංස්කෘතිය මුල් බැසගත් සමාජයක ක්‍රමානුකුලව සිදු නොවීමත්, චේ ගුවේරා "ගරිල්ලා ක්‍රම" භාවිතා කරමින් සන්නද්ධ විප්ලවය සිදු කරන බව පෙන්වමින් සහ ඊට මුවා වෙමින් ත්‍රස්තවාදී ක්‍රියා ඔස්සේ සමාජය බිය වැද්දවීමටත් ඇතැමෙක් ක්‍රියා කිරීමත් පෙන්වා දිය හැක. සමස්ථ ලතින් ඇමරිකානු සමාජය තුළම ගෞරවාදරයට පාත්‍ර වන "චේ ගුවේරා" නම් වූ මෙම ප්‍රයෝගික විප්ලවවාදියා ලංකාව වැනි රටක විප්ලවයක් තුළ අවභාවිතා කොට "චේ ගුරා" වන්නේ එකී වරද නිසා විය හැක. ගුවේරාගේ න්‍යාය තුළ ඇති සන්නද්ධ අරගලයට එහා ගිය මානවවාදී දර්ශනයද භාවිතයට ගත්තේනම් තුවක්කුවට කළ නොහැකි ඇතැම් දෑ සහෝදරත්වයේ දෑතට සිදු කළ හැකි බව අවබෝද වනු ඇත.


"ජොසේ මාටි" විසින් කියූ ප්‍රසිද්ධ වැකියක් චේද සිය ජීවිත පරමාර්ථය කොට ගත්තේය. " ඔබ සැබෑ මිනිසෙකු වන්නේනම්, අනෙක් මිනිසාට ගසන අතුල් පහරක කම්පනය ඔබටද දැනිය යුතුය" එහි ගැඹුරු අර්ථයෙන් විමසා බල්ලන්නේනම් තවත් මිනිසෙකුගේ විපතකදී අනෙක් මිනිසාටද එහි කම්පනය දැනෙන්නේනම් ඔහු සතුව මානවවාදී ගුණය ඇති බව හඳුනාගත හැකිය. අනෙකාගේ විපතේදී සහෝදරත්වයේ දෑත දිගු කරන්නේ එකී කම්පනය දැනෙන හදවතක් පමණි. විප්ලවය ඇත්තේ එතැනයි. චේ ගුවේරාගේ ප්‍රකට ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳව වගතුග බොහෝ දෙනා අසා ඇතුවාට සැක නැහැ. තම 24 වැනි උපන් දිනය අතරතුර තම හිතවත්ම මිත්‍රයා සමගින් මුලු ලතින් ඇමරිකාව පුරාම යතුරු පැදියකින් ගිය ගමන ඓතිහාසික වන්නේ චේ නම් විප්ලවවාදියා නිර්මාණය වීමට එම සංචාරය ඔහුට අධ්‍යයනයක් වූ නිසයි.


පේරු රාජ්‍යයේ ලාදුරු කඳවුරකදී චේ තම 24 වන උපන් දිනය සමරන්නේ සමාජයෙන් කොන් වූ ලාදුරු රෝගීන් සමග තම කාලය ගෙවා දමමින්. අද 24 හැවිරිදි වියේ පසුවන මා හට ඇතැම් විට ලැජ්ජාවක් දැනෙනවා මන්ද එදා 24 වියේ පසු වූ චේ පරාර්ථය උදෙසා තම කාලය කැප කරන විට මා වැන්නවුන් පෞද්ගලික පරමාර්ථ හෙවත් ආත්මාර්ථය උදෙසාම ජීවිතය කැප කිරීම ගැන. කෙසේ වෙතත් සමස්ථ සමාජයම වෙලා තිබෙන මිනිසුන්ගේ පොදු ප්‍රශ්න ගැන වූ සංවේදීකම මෙම සංචාරයෙන් චේ තුළ වැඩි වර්ධනය වනවා.


"The Motorcycle Diaries ලෙස හඳුන්වන ඔහුගේ දිනපොත ඇසුරෙන් මෑත කාලයේ සිනමපටයක්ද බිහි විය. මිනිසුන් පිළිබඳව ඔහු තුළ වූ සංවේදී භාවය ගැන සාක්ෂි සටහන් එම දිනපොත පුරා දක්නට ඇත. ලාදුරු රෝගීන් ගැන ඔහු මෙසේ සටහන් කොට ඇත. " එදා රාත්‍රියේ සාදයේදී එකෝඩියන් එක වාදනය කළ කෙනාගේ දකුණු අතේ ඇඟිලි ඔක්කොම හැලිලා තිබුණා. ඇඟිලි වෙනුවට මැණික් කටුවට සවිවන විදිහට බැඳපු කෝටු කෑලි වලින් තමයි ඔහු එකෝඩියනය වාදනය කළේ. තවත් අන්ධ මිනිසෙක් අපූරුවට ගීත ගයන කළා. හැමෝම අත පය කොර වුනු ඇඟිලි හැලී ගියපු ශරීර වලින් යුතු විකෘති වූ මිනිසුන්. සමාජය ඔවුන්ව කොන් කරනවා. නමුත් මට එය කම්පනයක් උනා. රාත්‍රියේ පත්තු කරපු ලන්තෑරුම් එළිය නිසා ඔවුන්ගේ ශරීර වල හෙවනැලි ගං දිය මත වැටී තිබුණේ භයංකාර දර්ශනයක් වගේ. ඒත් අපි මොහොතකට සතුටු උනා" මේ ඔහු සමාජය වෙත හෙලූ දයාබරිත ආකල්පයයි.


චේගේ දේශපාලන දැක්ම ගැනද යම් සඳහනක් කිරීම වටිනා බව මම සිතමි. දේශපාලය නායකත්වය ගැන ඔහු දරන මතය විශේෂිත වූවකි. මහජනතාවත් පාලකයාත් අතර ඇති පරතරය පිළිබඳව අදහස් දක්වන චේ පවසන්නේ " නායකයා සහ ජනතාව අතර දුරස්ථභාවය නිර්මාණය වන්නේත් ජනතාවට නායකයා පිළිබඳව වූ විශ්වාසය පළුදු වන්නේත් නායකයන්ගේ දෙපිටකාට්ටු ක්‍රියාවන් නිසයි. ඔහුගේ පොරොන්දු සහ ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ආකාරයත් ඔහු ජීවත් වන රටාව සහ දේශපාලනයේදී මවාගත් චරිතයත් අතර වන පරස්පරයන් ඊට මූලිකවම බලපායි."


සන්නද්ධ විප්ලවය අතරතුර චේ කටයුතු කළ ආකාරය ලෝකයේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ සන්නද්ධ අරගලයක් තුළ වුවත් මනුෂ්‍යත්වයට ඉඩක් ඇති බව චේ ප්‍රයෝගිකව සනාථ කළ නිසාය. ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් සමග වූ සටන් අතරතුර අත්අඩංගුවට පත්වන විරුද්ධ පාර්ශවයේ සෙබළුන් ඝාතනය කිරීමත් තොරතුරු ලබා ගැනීම සඳහා වධ බන්දනයන්ට ලක් කිරීමත් චේ දැඩිව ප්‍රතික්ෂේප කළ කාරණා වේ. කියුබානු විප්ලවය අතරතුර සියෙරා මෙස්ට්‍රා ප්‍රදේශයේ පැවති සටන් අතරතුර ඔහුගේ ආකල්ප හේතුවෙන් ප්‍රතිවිර්ද්ධ පාර්ශවයේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා විය. වරෙක ඔහු ඒ පිළිබඳ මෙසේ පවසන ලදී. "විප්ලවය සහ විප්ලවීය ව්‍යාපාරයක් වෙනුවෙන් වධ හිංසාව යොදාගැනීම හේතුවෙන් සිදුවන්නේ විප්ලවයේ සැබෑ අරමුණ අප අතින් ගිලිහී යාමයි. මන්ද වධ හිංසාවට කැමති මිනිසා තුළ ඇත්තේ පිරිසිදු මනසක් නොවේ. විප්ලවවාදියාට හැමවිටම පිරිසිදු මනසක් තිබිය යුතුය."


බොලිවියානු විප්ලවය අතරතුර ඇමරිකානු "සී අයි ඒ" සහායෙන් අත්අඩංගුවට පත් වූ චේ ගුවේරා ගම්මබද පාසල් ගොඩනැගිල්ලක් තුළදී වෙඩිතබා ඝාතනය කරන ලදී. චේ ගුවේරා හට වෙඩි තැබූ රජයේ හමුදාවේ සෙබළා මෑත කාලයේදී හඳුනාගන්නා ලදී. Mario Terán Salazar නම් වන ඔහු මේ වන විට 73 වන වියේ පසුවන්නෙකි. ඔහු පුවත්පතකට පවසා තිබූ ආකාරය අනුව චේ ඔහුට අවසන් වශයෙන් මෙසේ පවසා ඇත. "ඔබව මෙසේ ඒවා තිබෙන්නේ මාව ඝාතනය කිරීමට බව මා දන්නවා. සංසුන් වන්න. ඔබ වෙඩි තබා ඝාතනය කරන්න යන්නේ තවත් මනුෂ්‍යයෙක්ව" Mario Terán Salazar තවදුරටත් පවසනවා " එදා ඔහුව ඝාතනය කිරීමට මා ඉදිරිපත්වුවත් ඔහුට වෙඩි තැබූ දින සිට අද දවස දක්වාත් එම සිදුවීම මාගේ සිතට වධ දෙමින් තිබෙනවා. වරෙක එය අභ්‍යන්තරයෙන් මාව දවාලනවා වැනි හැඟීමක් දැනෙනවා. මා විසින් ඝාතනය කළේ හොඳ මිනිසෙක්. ඔහු හොඳ මිනිසෙක්......



_අයේෂ් ලියනගේ_ 



                                                 ඝාතනය කොට තිබූ අයුරු 






                                          සුප්‍රකට බිට්ල්ස් ගායක ජෝන් ලෙනන් සමග 





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators