Saturday, June 24, 2017

මගේ ලිවීම හුදෙකලා උත්සාහයක් - අනිටා දේසායි




ඉන්දියානු ජාතික අනිටා දේසායි යනු තුන් වතාවක් බුකර් සම්මානය හිමිකරගත් ලේඛිකාවකි. ඉංග‍්‍රීසියෙන් ලේඛනයේ යෙදුණු ඉන්දියානු ලේඛිකාවක් වූ ඇයගේ ”විලේජ් බයි ද සී” නම් වූ ළමා නවකතාව ලංකාවේද අතිශය ජනාදරයට පාත‍්‍ර වූ කෘතියක් ලෙස සැලකේ. ඇය ලියූ ඇතැම් කෘතීන් පසු කාලයේ සිනමාවටත් නැගුණි. ඉන්දියානු සාහිත්‍යයට කළ සේවාව වෙනුවෙන් පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබූ ඇය මහාචාර්යවරියක ලෙසින් වර්තමානයේ කටයුතු කරයි. මේ සංවාදය ඇය අන්තර්ජාල සඟරාවකට ලබාදුන් ලබාදුන් සම්මුඛ සාකච්ජාවක් ඇසුරෙන් සැකසේ.


ඔබ කොහොමද දැනගත්තේ ඔබට ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා?


ඉතාම කුඩා කාලේදීම මට ඒ බව තේරුණා. හරියට වචනයක්වත් කතා කරගන්න බැරිව ඉඳපු කාලෙත් මම ලියන්න උත්සාහ කරලා තියෙනවා. මගේ මහ ගෙදර තිබුණේ කියවන පරිසරයක්. පොත් ගොඩක් තිබුණා. ඒ වගේම ගෙදර හැමෝම පොත් කියෙවුවා. මගේ ගෙදර අයට මාව මතක මුල්ලකට වෙලා අකුරු කුරුටු ගාන කෙනෙක් විදිහට. ඉතිං ඒ දවස්වල ඉඳන් ගෙදර අය මට කිවුවේ ”ව්රයිටර්” කියලා. මටත් ඕන වුණේ මගේ පොතක් අර පොත් ගොඬේ තියෙනවා දකින්න.



ඔබ ලියූ දෙයක් මුලින්ම ප‍්‍රසිද්ධ වූ විදිහ මතකයිද ?


ඉතාම කුඩා කාලයේ මම ළමා සඟරාවකට ලිපියක් ලියුවා. එය පළවුණා. එතකොට මට වයස අවුරුදු නවයයි. ආපහු හැරිලා බලද්දී මම ගොඩක් දේවල් හිතනවා. මම හැමවෙලේම සතුටු වුණා යමක් කියවීමෙන්. මගේ අතේ සල්ලි කීයක් හරි තිබුණොත් මම මුලින්ම දුවන්නේ පොත්හලකට. ගිහින් බලනවා මොකද්ද මට ගන්න පුළුවන් කියලා.


තරුණ කාලයේ මොන විදිහේ කියැවීමක්ද ඔබට තිබුණේ ?


ඒ දවස්වල මට ලොකු බලපෑමක් කළ ලේඛිකාවක වුණේ බි‍්‍රතාන්‍ය ජාතික වර්ජිනියා වුල්ෆ්. ඒ වගේම එච් ඞී ලෝරන්ස්, තෝමස් හාර්ඩි වගේ ලේඛකයිනුත් ලොකු බලපෑමක් ඇති කළා . නමුත් මගේ කියැවීමේ දියුණුවක් ඇති වුණේ රුසියානු සාහිත්‍යය පරිශීලනය කරන්න ගත්තට පස්සේ. ලේඛකයෙක් විදිහට මිනිස් හැඟීම් ගැන සිතුවිලි ගැන ගැඹුරට ගිහින් හාරා අවුස්සලා බලන්න රුසියානු සාහිත්‍ය පරිශීලනය වැදගත් වුණා. පියදෝර් දොස්තයෙවුස්කි, ලියෝ ටෝල්ස්ටෝයි වගේ ලේඛකයන් ඒ වගේ සීමාවක ඉඳන් ලේඛනයේ යෙදුණා. නමුත් මම විශේෂයෙන්ම කැමැති ලේඛකයා තමයි නිකොලොයි ගොගොල්. මෙතෙක් ලෝකයේ ලියා තිබෙන විශිෂ්ටම කෙටි කතා අතරින් කිහිපයක්ම ඔහු ලියා තිබෙනවා. ඔහුගේ කතාවල තිබෙනවා ආකර්ශනීය වගේම ගුප්ත අපැහැදිලි යමක්. ඒවායේ තියෙන රහස හොයාගන්න මම හැමවෙලාවකම උත්සාහ කළා.



ඔබ ලේඛනයේ යෙදෙද්දී ඔබටම අවේනික හැඩයක් තිබෙනවාද ?


මම කෘතියක් ලියමින් හිටියත් නැතත් හැමදාම උදේට පැය තුනක් මගේ ලියන මේසේ ඉඳන් මම වැඩ කරනවා. මේසයයි, පුටුවයි ලියන්න සුදුසු මුල්ලකුයි මට ඕනෑමයි. ජනේලයක් තියෙනවනම් හොඳයි. එතැනින් මට හොඳ දර්ශනයක් දකින්න තියෙනවනම් තව හොඳයි. කොහොම වුණත් මට වැදගත්ම දේ තමයි ලියන වෙලාවට හුදෙකලාවේ ඉන්න තියෙන ඕනෑකම. මම කවදාවත් ලියද්දී පරිගණකය පාවිච්චි කරන්නේ නෑ. කෘතියක් මුද්‍රණය වෙනකල් මම හැමදෙයක්ම අතින් ලියනවා. පරිගණකය හොඳයි සංස්කරණය කරන්න. නමුත් ලියන්න ඒක හොඳ නෑ.



ලේඛනය නමැති ක‍්‍රියාවලිය ඔබට අනුව විග‍්‍රහ කළොත් ?


ලිවීමේ මුල් පියවර තමයි පිනවීම. එය සිත් ඇදගන්නා දෙයක්. නමුත් යම් තිගැස්මකුත් තිබෙනවා. හරියටම දන්නේ නෑ කොහෙටද යන්නේ කොහොමද ඉවර කරන්නේ කියලා. අඩුම ගානේ මේ කරන දේ හරියටම හරියයිද කියලා දන්නෙත් නෑ. බොහෝ කාලයක් ස්වයං වික්ෂිප්තභාවය එක්ක වැඩ කරන්න වෙනවා. ඒ නිසා මම හිතනවා එය ඉතා අපහසු අවස්ථාවක් කියලා. නමුත් එය තමයි වැඩියෙන්ම සිත් ඇදගන්නා අවස්ථාව. ඒ වෙලාවට මම ලිවීම පැත්තකින් තියලා මගේ කතාවේ චරිත ගැන ගැඹුරෙන් හිතන්න ගන්නවා. එතකොට මට දැනෙන්න ගන්නවා කොතැනද වැරැුද්දක් තියෙන්නේ කියලා. ඊට පස්සේ නිවැරදිකිරීම් කරනවා. ඒ වගේම මම ලියූ නවකතා බොහොමයක් ගවේෂණාත්මකව හැදෑරීමක් එක්කයි සිදුකළේ.



ඔබේ කෘතියක් ප‍්‍රකාශයට පත් කරද්දී එය සංස්කාරකවරයෙක්ට පෙන්වනවාද ? සංස්කාරක සමග ඔබට තියෙන්නේ මොනවගේ ගනුදෙනුවක්ද ?

දැන්නම් මම කෘතියක් පෙන්වන්නේ මගේ ප‍්‍රකාශන ආයතනයේ සිටින සංස්කාරකවරයෙක්ට තමයි. සමහර වෙලාවට සංස්කාරකයෙක්ට පුළුවන් ඔබේ ලියමන නැතිම කරලා දාන්න. ඔබ කරන්නේ මොකද්ද කියලා නිවැරදි වැටහීමක් නැති වුනොත් එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් වසර ගණනාවක ඉඳන් මාත් එක්ක ඉතාම විශිෂ්ට සංස්කාරකවරුන් ඉන්නවා. ඔවුන් දැන් ලඟම මිතුරන් බවට පත් වෙලා. ඒ වගේම ඔවුන්ගේ දැක්මත්, ඔවුන් කරන යෝජනාවලටත් ඇහුම්කන් දෙන්න මම ඉතා කැමැතියි.


ඔබේ හොඳම කෘති බිහිවුණේ ඉතා නිස්කලංක අවස්ථාවකදීද ? නැත්නම් පීඩාකාරී වාතාවරණයකදීද?

මම හොඳින් ලේඛනයේ යෙදිලා තිබෙන්නේ පීඩාකාරී වාතාවරණයන්වලදී. යම් හේතුවක් මට ලියන්න කියලා බල කරපු තැන්වලදී මම හොඳින් ලිවුවා. ඒ කාලයේ මම හැම වෙලාවකම ලේඛනයේ යෙදුනා. දැන් මගේ දරුවොත් උස් මහත් වෙලා මට ඇතිතරම් නිදහසකුත් ලැබිලා තියෙනවා. ඔවුන් ගැන හොයන්න ඕන බලන්න ඕන කියලා පීඩනයකුත් නෑ. ඒකෙම ප‍්‍රතිපලයක් නිසාද දන්නේ නෑ දැන් මම ලියන්නේ ඉතාම අඩුවෙන්. තවදුරටත් ලියන්න කියලා බලකිරීමක් දැන් ඇති වෙන්නේ නෑ.


ඒ කාලයයි මේ කාලයයි ගත්තහම ඉන්දියානු ලේඛකයින්ගේ ඔබ දකින වෙනස මොකක්ද ?


අද ඉන්න ඉන්දියාවේ ලේඛකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔවුන් කණ්ඩායම් බොහොමයක් විදිහට සංවිධානය වී ඉන්නවා. ඉන්දියාව එක්ක වගේම බටහිර සමාජය සමගත් ඔවුන්ගේ සබඳතා තරවෙලා. ඔවුන්ට තිබෙන්නේ පුළුල් සමාජ ජීවිතයක්. මට වෙලාවකට ප‍්‍රශ්නයක් ඔවුන් කොහොමද ඒ ජීවිතය සමබර කරගන්නේ කියන දේ. සමහරු හොඳින් කළමනාකරණය කරගන්න බව පෙනෙනවා. නමුත් එය පහසු දෙයක් නොවෙයි.


___අයේෂ් ලියනගේ___


( 2017 ජුනි 11 දා "ජනයුගය පුවත්පතේ "රේඛාව" සාහිත්‍ය අතිරේකයේ පළවූ ලිපියකි  )

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators