Tuesday, June 27, 2017

ලේ පිපාසිත රූමතියකගේ කතාව




ඇය නමින් "කව්න්ටෙස් එලිසබෙත් බැතෝරි" නම් වූවාය. 1560 වසරේ අගෝස්තු මස 7 වැනිදින හංගේරියාවේ ( වර්තමාන ස්ලෝවැකියාව) දී උපන් ඇය රාජකීය පෙළපතක උපත ලැබුවාය. Ecsed නම් වූ බලකොටුව තුළ ඇයගේ ළමා කාලයට ගතවූ අතර තරුණ වියට එළඹෙත්ම ඇය රූප සම්පත්තියෙන් අගතැන්පත් කෙල්ලක් බවට පත්විය. ඇයගේ පියා ජෝර්ජ් බැතෝරි වූ අතර මව ඇනා බැතෝරි නම් විය. ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබූ ඇයට ධනයෙන් බලයෙන් කිසිම අඩුවක් තිබුණේ නැත. ඇයට භාෂා ගණනාවක්ම කතා කිරීමට හැකියාව තිබුණි. 


එලිසබෙත් පළමු වරට විවාහ වූයේ වයස අවුරුදු එකොළහේදීය. ඒ පහළොස් හැවිරිදි රාජකීය තරුණයකු සමගයි. ඔහුගේ නම වූයේ Ferenc Nádasdy ය. එය හුදෙක් විවාහ ගිවිසගැනීමක් පමණක් වූ අතර ඇය විවාහ බන්ධනයට පිවිසියේ වයස පහළොවේදීය. Nádasdy විවාහ ත්‍යාගය ලෙස බැතෝරි කුමරියට ලැබුණේ සුවිසල් මාලිගවකි. සර්වාර් නම් අතිශය අලංකාර ප්‍රදේශයේ පිහිටා තිබූ එම මාලිගය විවාහයෙන් පසු ඇයගේ නිවෙස බවට පත්විය. 1578 වසරේදී බැතෝරි කුමරියගේ ස්වාමියා හට හමුදාවේ ඉහළ නිලයක් හිමිවූ අතර ඔටෝමන් අධිරාජයාට එරෙහි යුද්ධයට සහභාගී වීමට ඔහුට සිදුවිය. ස්වාමියාගේ ප්‍රාදේශීය පාලන බලතල එතැන් පටන් බැතෝරි කුමරිය හට හිමි වූ අතර සියල්ල ඇයගේ පාලනය සතු විය. 


ඇය අතට බලය ලැබීමත් සමග බොහෝ දේ වෙනස් වන්නට ගනී. සිය බලප්‍රදේශය තුළ ඇවිදිමින් ඇය සිය බලය ජනතාවට ප්‍රදර්ශනය කළාය. ඇයගේ සහායට ඉතා පක්ෂපාති සේවක පිරිසක්ද ඇය සතුවිය. ඒ අතර ඇනා දර්වුලියා නම් ගැහැනියක් සිටියාය. ඇය ඉතා දරුණු ගති පැවතුම් ඇති මයාකාරියක් බඳු ගැහැනියකි. බැතෝරි ගේ කිට්ටුවන්තම සේවිකාව වූයේ ඇයයි. කල්යත්ම ඇනා සහ බැතෝරි අතර අසම්මත සම්බන්ධයක්ද ඇති වූ බව කියැවේ. බැතෝරි ගේ ජීවිතය බොහෝ සේ වෙනස් වූයේ ඇයගේ ඇසුරත් සමගයි. ඔවුන් තරුණ සේවිකාවන් වද බන්ධනයට ලක් කිරීමෙන් මහත් තෘප්තියක් ලැබූහ. අවසානයේ තරුණ සේවිකාවන් හට ලිංගික අඩත්තේට්ටම් සිදුකොට සතුටු වීම බැතෝරි සහ ඇනා පුරුද්දක් කරගත්හ. 


සිය මාලිගාවේ බිම්මහලේ ඇති ස්ථානයක් මෙලෙස තරුණියන් වදබන්ධනයට ලක් කිරීම සිදුවිය. මෙය වදබන්ධනයකින් කෙළවර වූයේ නැත. බැතෝරි හට වෙනස් රසක් අවශ්‍ය විය. ඇයට තරුණ කන්‍යාවන් මරා ඔවුන්ගේ ලේ බීමේ ආසාවක් ඇති විය. ඇනා ඇයගේ මේ ආසාව සපල කරගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම ලබාදීමට පේ වී සිටියාය. සර්වාර් ප්‍රදේශයේ රූමත් තරුණියන් අතුරුදන් වන්නට පටන් ගන්නේ මේ අතරතුරයි. එසේ අතුරුදන් වූ තරුණියන් රැගෙන විත් තිබුණේ බැතෝරි මාලිගාවටයි. ඇයට ලේ බොන වැම්පයර්වරුන් කළ ආකාරයේ පූජාවක් කරන්නට අවශ්‍ය විය. බිම්මහලේ බාල්කයේ නිරුවත් කළ කන්‍යාවන් එල්ලා නාන බේසමක බැසගත් බැතෝරි ඔවුන්ගේ ගෙල කපා රුධිරය ස්නානය කරන්නට පටන් ගත්තාය. වයින් වීදුරු ලේ වලින් පුරවා රුධිර ස්නානය අතරතුර ඒවා පානය කළාය. මෙසේ කිරීමෙන් තමන් සදාකාලික වන බවත් තම තරුණ බව රැකෙන බවත් ඇය තදින්ම විශ්වාස කළාය. 


1604 වසරේදී බැතෝරි ගේ සැමියා හදිසියේම අසනීප වී මරණයට පත්විය. ඔහුගේ මරණයත් සමග තරුණියන් රැගෙන විත් මරා දමන චාරිත්‍රය තවත් උග්‍ර අතට හැරිණි. සාමාන්‍ය ගොවි දැරියන් මරා දැමීමට එහා ගොස් ඉහළ කුලීන තරුණියන් පවා බැතෝරිගේ උගුලට හසුවිය. මේ හේතුවම ඇයගේ අවසානයට පාර කැපීය. හංගේරියානු රජුහට බැතෝරි පිළිබඳව පෙත්සම් ලැබී තිබූ අතර ඔහු ඒවා විමර්ශනය කිරීමට රහස් දූතයන් යෙදවීය. බැතෝරිගේ රහස් ජීවිතය අනාවරණය විය. ආරක්ෂක නිලධාරීන් බැතෝරි මන්දිරය වටකොට බිම්ගෙයි පරික්ෂා කිරීමේදී අතුරුදන් වූ තරුණියන්ගේ ශරීර කොටස් සහ මරණය පිණිස සිරකොට සිටි තරුණියන් ගණනාවක් සොයා ගැනීමට හැකිවිය. බැතෝරි අත්අඩංගුවට පත්වූ අතර ඇයට එරෙහිව තිබූ චෝදානා සියල්ල ඔප්පු විය. 


ඇයගේම මන්දිරයේ බිම්මහලේ ඇයව සිරකර තැබීමට නියෝග ලැබුණු අතර ආලෝකයවත් නොදකින ලෙසට ඇයව සිරකර තබන ලදී. ඇය ඒ අයුරින් වසර හතරක් සිර ජීවිතය ගෙවුවාය. අනතුරුව 1614 වසරේ අගෝස්තු මස 21 වැනිදා අඳුරු බිම්ගෙය තුළ ඇය මියගොස් සිටියාය. කන්‍යාවන් මරා ලේ රුධිරය පානය කළ ඇගේ ප්‍රියතම ස්ථානය අවසානයේ මරණ මංචකය බවට පත්විය. ඉතිහාසගත වාර්තාවලට අනුව 1585 සිට 1609 තෙක් ඇය අතින් තරුණියන් සිය ගණනක් ඝාතනය වී ඇත. අවසානයේ ඇය එදා මෙදා තුර බිහිවූ ලොව භයානකම කාන්තා ඝාතකයා ලෙස ඉතිහාසයට එක් විය.


___අයේෂ් ලියනගේ___



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators