Wednesday, June 21, 2017

මෙන්න ලෝකයේ ලොකුම පොත් ප්‍රදර්ශන

පොත් කියවන පාඨක ප්‍රජාව අතර පොත් ප්‍රදර්ශනවලට ඇත්තේ විශාල ආකර්ෂණයකි. ඒ බව මෙරට පැවැත්වෙන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන් මොනවට පැහැදිළි වෙයි. මේ කියන්නට යන්නේ ලෝකයේ වෙනත් රටවල පවත්වනු ලබන එවැනි ජාත්‍යන්තර මට්ටමේ තවත් පොත් ප්‍රදර්ශන කිහිපයක් පිළිබඳ විස්තරයකි. මේ සෑම පොත් ප්‍රදර්ශනයක්ම ලෝක මට්ටමේ පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ප්‍රදර්ශනයි. ලෝකයේ නන් දෙසින් සෙනග මෙම ප්‍රදර්ශන වෙත පැමිණෙන්නේ හුදෙක් පොත් මිලදී ගැනීමටම නොව ඒ ප්‍රදර්ශන සමග ගොඩනැගී ඇති වෙනම උප සංස්කෘතික අත්දැකීම් විඳගැනීමත් අරමුණු කරගෙනය. 



ෆ්රෑන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය - ජර්මනිය 





ලෝකයේ ඇති දැවැන්තම පොත් ප්‍රදර්ශන අතුරින් පළමුතැන ගන්නේ ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයයි. එමෙන්ම වැඩිම පිරිසක් සහභාගී වන පොත් අලෙවි ප්‍රදර්ශනය වන්නේද මෙයයි. මේ අවස්ථාවට වාර්ෂිකව සහභාගී වන පිරිස ලක්ෂ තුනක් පමණ වේ. මෙම ප්‍රදර්ශනයේ ඉතිහාසය වසර පන්සියයක් දක්වා ඈතට දිවයන්නකි. මුල් කාලීනව මෙහි වෙළඳාම්වල යෙදුණේ දේශීය පොත් අලෙවිකරුවන් පමණි. නමුත් වර්තමානය වනවිට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශකයෝ දහස් ගණනක් මෙම ප්‍රදර්ශනය නියෝජන කරති. මෙම ප්‍රදර්ශනය ජර්මන් භාෂාවෙන් Frankfurter Buchmesse ලෙස හැඳින්වේ. මෙය ජර්මනියේ ඇති දැවැන්ත ගණයේ ව්‍යාපාරයක් ලෙසද සැලකේ. මෙම ප්‍රදර්ශනය හුදෙක් පාඨකයන් පමණක් අරමුණු කළ ප්‍රදර්ශනයක් නොවේ. මෙය පොත් ප්‍රකාශකයින්, පොත් අලෙවිකරුවන් , පොත් මුද්‍රණකරුවන්, සැලසුම් ශිල්පින්, ලේඛකයන්, පරිවර්තකයින් සහ තාක්ෂණ ශිල්පින් ආදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් අරමුණු කරගෙන පැවැත්වෙන බහුවිධ ප්‍රදර්ශනයකි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේ මෙම ප්‍රදර්ශනය ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේදී පැවැත්වේ. 


ලන්ඩන් පොත් ප්‍රදර්ශනය - බ්‍රිතාන්‍යය 




ලන්ඩන් පොත් ප්‍රදර්ශනය 2017 වසරේදී සිය හතලිස් හයවැනි සංවත්සරය සමරයි. පොත් ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගම් විසිපන්දහසක් පමණ වාර්ෂිකව මෙම උළෙල නියෝජනය කරයි. සෑම වසරකම මාර්තු සහ අප්‍රේල් යන මාසවල ලන්ඩනයේ ඔලිම්පියා හිදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට උළෙලේ සංවිධායකයෝ කටයුතු කරති. මෙම ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය නම් මෙය මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර පවා අරමුණු කරගනිමින් උළෙල සංවිධානය කිරීමයි. ලොව ප්‍රකට ලේඛකයින් සේම ප්‍රකාශකයින්ද පැමිණ පවත්වන සංවාදාත්මක වැඩමුළු ආදියද මෙම උළෙලට සමගාමීව පැවැත්වේ. එමෙන්ම ලොව පුරා සිටින පොත් අලෙවිකරුවන්ගේ සුහද හමු ආදියද ප්‍රදර්ශන කාලය තුළ දිනපතා පැවැත්වීමටද සංවිධායකයින් කටයුතු කරයි. යුරෝපයේ සහ යුරෝපයෙන් පිට සිටින පොත්වලට ආදරය කරන පිරිස් බොහොමයක් ලන්ඩන් පොත් ප්‍රදර්ශනය නැරඹීමට වාර්ෂිකව ඔලිම්පියාවට පැමිණෙන බවද සැල වේ. 


සැන්තියාගෝ පොත් ප්‍රදර්ශනය - චිලී 




දකුණු ඇමරිකානු කලාපයේ ඇති දැවැන්තම අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයක් ලෙස මෙය සැලකේ. මෙය 1981 වසරේ සිට අද දක්වා නොකඩවා සංවිධානය වන ප්‍රදර්ශනයකි. සැන්තියාගෝ නුවර සිටි නගරාධිපතිවරයකු වූ කාර්ලොස් මොම්බාල් ගේ අදහසකට අනුව මෙය ආරම්භ වී තිබේ. දකුණු ඇමරිකානු කලාපයේ සහ ලෝකයේ වෙනත් රටවලින් ප්‍රකට ලේඛකයින් හාරසියයක් පමණ මෙම උළෙලට වාර්ෂිකව සහභාගී වන අතර සංස්කෘතික උළෙලවල් පන්සියයක් පමණ ප්‍රදර්ශන කාලයේදී පැවැත්වේ . සෑම වසරකම ජනවාරි මාසයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් සහභාගී වෙති. Chilean Chamber for Books නම් ආයතනය මෙය සංවිධානය කරනු ලබයි. ව්‍යාපාරික අරමුණකට වඩා පාඨක අවශ්‍යතා හඳුනාගත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් ලෙස මෙය ප්‍රකට වේ. 


ටෙහෙරාන් පොත් ප්‍රදර්ශනය - ඉරානය




මෙය මහා පර්සියානු පොත් දැක්ම ලෙසද හඳුන්වනු ලබයි . ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රේයර්ස් ක්‍රීඩාංගන පරිශ්‍රයේ මෙම පොත් ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වේ. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ පොත් ප්‍රකාශකයන් හට අනාගත වෙළෙඳ අරමුණු සඳහා සංවිධානය වන ආකරන පිළිබඳව වැඩමුළු ආදිය පැවැත්වීමයි. තවද ඉරාන සංස්කෘතිය පිළිබඳව ලෝකයා දැනුවත් කිරීම සඳහාම වෙන් වේ සංස්කෘතිකාංග රැසක්ද පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙහි පැවැත්වේ. මැද පෙරදිග, අප්‍රිකා සහ යුරෝපා රටවලින් විදේශකයින් බොහෝ ප්‍රමාණයක් මෙය නැරඹීමටත් වෙළෙඳ අරමුණු සඳහාත් වාර්ෂිකව මෙහි පැමිණෙන බවද පැවසේ. 



පිටර්ස්බර්ග් පොත් ප්‍රදර්ශනය - රුසියාව



මෙය පීටර්ස්බර්ග් බුක් සැලූන් යන නාමයෙන්ද හැඳින්වේ. විශිෂ්ට සාහිත්‍ය සම්ප්‍රදායක් තිබූ රුසියාව තුළ මෙම ප්‍රදර්ශනයට ඇත්තේ විශාල අවධානයකි. රුසියානු පාඨක සමාජය තුළ කියැවීමේ රුචිය තව තවත් වර්ධනය කිරීම මෙම පොත් ප්‍රදර්ශනයේ අරමුණයි. රුසියානු ග්‍රන්ථකරුවන්ගේ සංගමය විසින් මෙය වාර්ෂිකව සංවිධානය කිරීම සිදුකරයි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවන මෙම කර්තව්‍ය හරහා පොත් අලෙවිකරණය සහ ඒ ආශ්‍රිත රැකියාවල නිරතවන පිරිස්වලට විශේෂ වැඩමුළු ආදියද පවත්වනු ලබයි. රුසියානු ලේඛකයින් සේම විදෙස් ලේඛකයින්ද මෙහි ලේඛකත්ව වැඩමුළු සඳහා සහභාගී වෙති. අලුතෙන් ක්ෂේත්‍රයට පැමිණෙන පොත් අලෙවිකරුවන්ට සහ ප්‍රකාශකයින්ට සිය ව්‍යාපාරික අවස්ථා දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම දැවැන්ත ප්‍රකාශන ආයතන වෙතින් ලබාදෙන විශේෂ වැඩසටහන්ද මෙහි ක්‍රියාත්මක වේ. නැගෙනහිර යුරෝපයෙන් සහ ආසියාවෙන් විශාල විදේශිකයන් පිරිසක් මෙම අවස්ථාවට පැමිණෙන බවද පැවසේ.


කල්කටා පොත් ප්‍රදර්ශනය - ඉන්දියාව



මෙය ලෝකයේ ඇති තවත් එක් දැවැන්තම පොත් ප්‍රදර්ශනයක් ලෙස සැලකේ. මෙය දෙවැනි වන්නේ ෆ්‍රෑන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයට සහ ලන්ඩන් පොත් ප්‍රදර්ශනයට පමණි. 1976 වසරේ ඇරඹි මෙය දැකබලා ගැනීමට වසරකදී දෙලක්ෂ පනස්දහසක පමණ ජනකායක් පැමිණෙති. සෑම වසරකම ජනවාරි මාසයේ අවසන් බදාදා දිනයේ සිට දින දොළහක කාලයක් මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබේ. තවද කල්කටාවේ හින්දු ආගමික දිනවලට සමගාමීව මෙම ප්‍රදර්ශනය පවත්වන අතර ඒ නිසාම විශාල ජනකායක් මෙය නැරඹීමට පැමිණීමේ ප්‍රවනතාවක්ද ඇතිව තිබේ. ඉන්දියානු පොත් අලෙවිකරුවන් සහ ප්‍රකාශකයින් එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. කල්කටාවේ මෙම පොත් ප්‍රදර්ශනය ජනප්‍රිය විමත් සමගම බෙංගාලයේ ඈත දුෂ්කර ගම්මානවල පවා පොත් කියැවීමේ රුචිය ජනතාව අතර වර්ධනය වී ඇති බව සංවිධායකයින් සොයාගෙන ඇත. තවද මෙම ප්‍රදර්ශනයෙන් උත්තේජනය වී තවත් පොත් ප්‍රදර්ශන බොහොමයක් වසර පුරා බෙංගාල ප්‍රාන්තය පුරා පැවැත්වෙන බවත් අසන්නට ලැබේ. ඉන්දියාවටම අවේනික වූ කලාත්මක අංග ඇතුලත් විශේෂාංග ගණනාවක් කල්කටා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ. 

___අයේෂ් ලියනගේ___

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators