Saturday, July 1, 2017

ලේඛකයෙක් නොවුනානම් මම බේබද්දෙක් - ස්ටීවන් කින්



නූතන ලෝකයේ සිටින ත්‍රාසය මුසු ප්‍රබන්ධ රචනයේ විශිෂ්ටයා ස්ටීවන් කින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔහු ලියූ නවකතා ලෝක සාහිත්‍ය පමණක් නොව ලෝක සිනමාවද ආක්‍රමණය කළේ සිතාගැනීමටවත් නොහැකි වේගයකිනි. විසිවැනි සියවසේ ත්‍රාසජනකම කෘතිය ලෙස පිළිගන්නේද ඔහු ලියූ "ද ශයිනින්" කෘතියයි. ස්ටැන්ලි කුබ්රික් නම් සිනමා අධ්‍යක්ෂවරයා එය සිනමාවට ගෙන ආ පසු "ද ශයිනින්" අසුව දශකයේ සිනමා භීතිකාව බවට පත්විය. ස්ටීවන් කින් යනු සාහිත්‍යය සහ සිනමාව එකිනෙක යා කළ සාහිත්‍යකරුවෙකි. ඉතා සරල දිවි පෙවෙතක් ගතකරන්නකු ලෙස සැලකෙන ඔහු අදටත් ක්‍රියාකාරී සාහිත්‍යයේ නිරත වන්නේය. මේ ඔහු රෝලින් ස්ටෝන් වෙබ් අඩවියට ලබාදුන් සාකච්ජාවකින් කොටසකි. 




ඔබ යම් විදිහකින් ලේඛකයෙක් නොවුනානම් අද ඔබ කවුද ?


එහෙම වුණානම් මම පාසලේ ඉහළ පංතිවලට ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයෙක් වෙන්න ඉඩ තිබුණා. සමහරවිට විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් වෙන්නත් ඉඩ තිබුණා. එහෙමත් නැත්නම් මම අවුරුදු පනහ වෙද්දී බේබද්දෙක් විදිහට මැරිලා යන්නත් ඉඩ තිබුණා. එහෙම වුණානම් මගේ කසාදෙවත් සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. මම හිතන්නේ මිනිහෙක්ට යම් හැකියාවක් තියෙනවනම් ඒක පාවිච්චි කරන්නේ නැතිව ජීවත් වීම කරන්න බැරි දෙයක්. 


ජීවිතේ ඔබට ලැබුණු හොඳම උපදේශය මොකක්ද? 


කවදාවත් පස්ස හැරිලා බලන්න එපා. මොකක් හෝ ජයග්‍රහණයක් ඔබට ලැබේවි. සැචෙල් පේජ් කියන ක්‍රීඩකයා එහෙම කියලා තියෙනවා.



ඔබේ ළමා කාලයේ ඔබ කැමතිම කෘතිය ගැන සඳහනක් කළොත් ?

අවුරුදු හයේදී මගේ කැමතිම කෘතිය වුණේ ආචාර්ය සූස් නැමැත්තා ලියු The 500 Hats of Bartholomew Cubbins කියන කෘතිය. ඒකෙ තිබ්බේ හරි සරල අදහසක්. ඒ කතාවේ ඉඳපු හැම කෙනෙක්ම රජුගේ ඉස්සරහා තමන්ගේ හිස් ආවරණ ගලවා රජුට ගෞරව කළා. නමුත් එක තරුණයෙක් හිටියා ඔහු තොප්පියකට යටින් තවත් තොප්පියක් දාගෙනයි හිටියේ. මේ හේතුව නිසාම අවසානයේ ඔහු අත්අඩංගුවට පත් වෙනවා. රජුට අගෞරව කිරීම නිසා ඔහුගේ හිස ගසා දමන්න නියෝග ලැබෙනවා. ඒක ඇත්තටම ත්‍රාසය මවන කතාන්දරයක්. ඒක මම විඳගත්තේ හරි නරුම පොඩි එකෙක් විදිහට.


අද ඔබ කැමතිම කෘතිය ගැන කිවුවොත්?


තෝමස් විලියම්ස් නැමැත්තා ලියූ " ද හෙයාර් ඔෆ් හැරල්ඩ් රොක්ස්" කියන කෘතියට මම කැමතියි. මම එය හතර වතාවක් කියවලා තියෙනවා. ඒකෙ කියවෙන්නේ ඒරන් බෙන්හම් කියන චරිතය ගැන. ඔහු පොතක් ලියන්න හදන ලේඛකයෙක්. මම ඒ කෘතියට ආදරේ කරන්නේ ලේඛකයෙක් කියන්නේ කවුද ? ලේඛකයෙක් වීම කියන්නේ මොකක්ද කියන දේ ගැන සත්‍ය ඒ කෘතියේ තියෙන නිසා. ලේඛකයෙක් පොතක් ලියනවා තවත් ලේඛකයෙක් ලියන පොතක් ගැනම. ඒක කණ්නාඩිවලින් වටවෙච්ච පොඩි ගෙයක් ඇතුලේ ඉන්නවා වගේ දෙයක්. 


ඔබ මියගිය දවසක මිනිස්සු මොනවා කියාවි කියලද ඔබ හිතන්නේ? 



මිනිස්සු මෙහෙම කියනවනම් හොඳයි. " එයා මහන්සිවෙලා වැඩ කළා. නවකතා ලියලා එයා ඉතිහාසෙට එකතුවෙන නමක් ඉතුරු කරලා ගියා. සමාජෙට හරි දෙයක් කළා." කොහොමවුණත් මරණෙන් පස්සේ මම වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. 


ඔබ ලියූ "ද ස්ටෑන්ඩ්" කෘතිය තවත් අවුරුදු පනහකිනුත් මිනිස්සු කියවාවිද? 


එහෙම වෙනවනම් කොයි තරම් දෙයක්ද? ඒ වගේම ඔවුන් මගේ "ද ෂයිනින්" කෘතියත් කියවාවි. "සේලම්" කෘතිය වැඩි වැඩියෙන් කියවාවි. මම හිතනවා ත්‍රාසජනක කතාවලටත් ෆැන්ටසි කතාවලටත් වැඩිකල් පැවැත්මක් තියෙනවා අනිත් වර්ගවල කෘතීන්ට වැඩිය.


ලෝකයේ ඔබ ඉන්න කැමතිම තැන මොකක්ද ?


නිව් යෝර්ක්. මොකද මගේ විදිහ තියෙන්නේ එතැන. සාමාන්‍යයෙන් මම ග්‍රාමීය මිනිහෙක්. ඒක ඇත්තටම හොඳ සීමාවක්. නමුත් අනිත් සීමාවනුත් අපි දැනගෙන තියෙන්න ඕන. එක එක ජාතියේ කඩවල්, පොඩි පොඩි අවන්හල් නිව්යෝර්ක්වල තියෙනවා. එහි ගෘහනිර්මාණය පුදුමාකාරයි. ඔබට නිව්යෝර්ක්වලදී ඕනෑම විදිහක චිත්‍රපටයක් බලන්න වුවමනා වුණොත් යන්න පුළුවන්. ඒත් දැන් මම ඉන්න තැන ඒ වුවමනාව ඉෂ්ට කරගන්න විදිහක් නෑ. ග්‍රීන් රූම් කියන ත්‍රාසජනක චිත්‍රපටියට මම කැමතියි. මම නිව්යෝර්ක්වලනම් මේ වෙලාවේ ඉන්නේ මම අනිවාර්යෙන්ම ඒ චිත්‍රපටිය බලන්න යනවා. 


ජීවිතේට විවේකයක් ඕන වුණාම ඔබ මොකද කරන්නේ ?


මම කියවනවා. රූපවාහිනිය බලනවා. දැන්නම් බලන්න සෑහෙන්න නාලිකා තියෙනවා. ඒවා බලන එක හරියට පිනොකියෝ ගේ සුරංගනා දූපතේ ඉන්නවා වගේ වැඩක්. ඒ වගේම මම ගිටාරය වාදනය කරනවා. මම දැන් සෑහෙන කාලෙක ඉඳන් අලුත් සිංදුවක් පුරුදු වෙන්න හදනවා. මට හරියට ගායනා කරන්නවත් වාදනය කරන්නවත් බෑ. ඒත් ඒක මාව සැහැල්ලුවෙන් තියනවා.


___අයේෂ් ලියනගේ___


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators