Wednesday, August 16, 2017

මෙන්න මොඩ්ලින් කරන ගිරවෙක්

ගිරවෙක් කියන්නේ නිදහසේ ඉන්න , තමන්ට  ඕන තැනකට පියඹලා යන සතෙක් විදිහට තමයි අපි අඳුනගෙන තියෙන්නේ. ඒ වගේම අනිත් කුරුල්ලන්ට නැති විශේෂ හැකියා කිහිපයකුත් ගිරව්න්ට තියෙනවා. ඒ තමයි කතා කරන්න තියෙන දක්ෂකම. අනෙක් අයගේ හඬ අනුකරණය කරලා ශබ්ද නගන නිසා තමයි මිනිස්සු ගිරව්න්ට කතා කරන්නත් හුරු කරන්නේ. ඒ නිසාම ගිරව් ගෙවල්වල හදන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ කියන්න යන්නේ වෙනස්ම ගිරවෙක් ගැන. මෙයාගේ නම ”රියා”. මෙයා ඉන්නේ ඇමරිකාවේ බොස්ටන්වල. ඒත් මේ ගිරවට තමන් කැමැති තැනකට පියඹලා යන්න තටු නෑ. ඒකට හේතුව රෝගයක්. උපතේ ඉඳන්ම මේ ගිරවා තටු නැති රෝගයකින් පීඩා විඳිනවා. ඒ නිසා රියා දිහා බලපු ගමන්  ඕන කෙනෙකුට හිතෙන්නේ මේ ගිරවා හම ගහලා කියලා.



මේ රෝගය නිසා අසරණ වෙච්ච රියාට පිහිටක් වුණේ ඉසබෙලා කියන ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පිනිය. බොහෝ දෙනෙක් මේ අමුතු පෙනුම නිසා රියාගෙන් ඈත් වුණත් ඉසබෙලාගේ කාරුණික හිත නිසා රියාට රැුකවරණයක් ලැබුණා. ඉසබෙලා කියන්නේ බොහෝ දෙනෙක් රියාගේ මේ පෙනුමට උසුළු විසුළු කළ බවයි. තමන් ”රියාව” හදාගන්න යද්දී ඇතැම් අය එතරම් හොඳ ප‍්‍රතිචාර දැක්වූයේ නැති බවත් ඉසබෙලා කියනවා. මේ හේතුව නිසාම ඉසබෙලා රියාගේ නමින් ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමක් ආරම්භ කරන්න හිතුවා. රියාට ආදරයක් නැති මිනිස්සු වගේම රියා ගැන ආදරයක් ඇති මිනිස්සුත් ලෝකයේ තව ඇති කියලා ඉසබෙලා හිතුවා. කොහොමහරි රියාගේ නමින් හදපු ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමට හිතාගන්නත් බැරි තරමේ ප‍්‍රතිචාර ආවා.



ලෝකේ වටෙන්ම රියාට කැමති අයගෙන් ප‍්‍රතිචාර ලැබෙන්න ගත්තා. අන්තිමේදී ඉසබෙලා තීරණය කළා රියාව විලාසිතා තරුවක් කරන්න. ඇය රියාට ගැලපෙන විදිහේ ලස්සන ලස්සන පොඩි ඇඳුම් මහලා ඇන්දෙව්වා. ඒ ඇඳුම් එක්ක රියාගේ ලස්සන වැඩි වුණා. ඒ වගේම රියාගේ පොඩි පොඩි වීඩියෝ අන්තර්ජාලයට එකතු කළා. ඒ වීඩියෝ බලද්දී  ඕන කෙනෙක්ට හිතෙනවා රියා ගිරවෙක්ටත් වඩා මනුස්සයෙක් වගේ කියලා. මේ වෙනකොට රියාට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. ඒත් රියාගේ රෝගය කවදාවත් හොඳ වෙන්නේ නෑ. ඉසබෙලා හැම වෙලාවේම උත්සාහ කරන්නේ රියාව උණුසුමෙන් තියන්න වගේම එයාව සතුටෙන් තියන්න.



අද වෙද්දී ලෝකේ වටේ ඉන්න රියාගේ රසිකයෝ ගොඩ දෙනෙක් එයාට සුබ පැතුම්, ලියුම් වගේම රියාට ගැලපෙන පොඩි පොරෝන පවා එවනවා. වෙනදා උසුළු විසුළු කරපු පිරිසට වැඩිය අද රියාට ආදරේ කරන පිරිස වැඩියි. ඒ හැමෝටම ස්තූති කරමින් ඉසබෙලා මෙහෙම දෙයක් කිවුවා


”මට මිනිස්සු කියන්නේ මොනවද කියන දේ අදාළ වුණේ නෑ. මට හැම වෙලාවේම  ඕන වුණේ වෙනස් දේ ලස්සනයි කියලා කියන්න. මම හදවතින්ම සත්තුන්ට ආදරේ කරන කෙනෙක් නිසා මගේ පවුලේ අයවත් යාලූවෝවත් මම රියා හදාගන්න යද්දී පුදුම වුණේ නෑ. අවාසනාවට රියාට තියෙන රෝගයට මෙතෙක් ප‍්‍රතිකාරයක් හොයාගෙන නෑ. ඒ වෙනුවෙන් මට කරන්න දෙයක් නැති වුණත් මම ඇයව හැම වෙලාවේම සතුටින් තියන්න උත්සාහ කරනවා. එතකොට එයාටවත් තේරෙන්නේ නෑ එයා ඉන්නේ අසනීපෙන් කියලා. රියා වෙනුවෙන් පොඩි හරි වෙලාවක් වෙන් කරපු හැමෝම වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. මම විශ්වාස කරනවා කොහේ හිටියත් ඔවුන් යහපත් මිනිස්සු”



___අයේෂ් ලියනගේ___








No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators