Friday, January 18, 2019

තේ හදන කොලුවෙක් තරුවක් කළ සේයාරුව

ඉස්ලාමාබාද් ජීවිතය ඔහේ ගෙවී යමින් තිබුණා. උදෑසන 4.30ට අවදිවෙන අර්ශාඩ් යාඥාවෙන් පසු කෙළින්ම යන්නේ තේ කඩයට. ඔහුගේ රස්සාව වුණේ තේ හැදීම. උතුරු ඉන්දියාවෙත්, පකිස්ථානයේත් පාරේ තේ හදන අයට කියන්නේ " චායි වාලා" කියලා. අර්ශාඩ් කියන්නෙත් වෘත්තියෙන් චායි වාලා කෙනෙක්. තේ හදනවාට වඩා දෙයක් අර්ශාඩ් ඇත්තටම දැනගෙන හිටියේ නෑ. සෝෂල් මිඩියා ගැනවත් පකිස්ථානයෙන් එහා ලෝකයක් ගැනවත් අර්ශාඩ්ට තිබුණේ බොහොම පොඩි දැනුමක්. සහෝදර සහෝදරියෝ හත් දෙනෙක් ඉන්න පවුලක සාමාජිකයෙක් වෙච්ච අර්ශාඩ්ට ඉගෙනීමෙන් ඉස්සරහට යන්න අගහිඟකම් ඉඩ දුන්නේ නැති තරම්. 


අර්ශාඩ්ට තිබුණේ වෙනස්ම ඇස් දෙකක්. ඒ වගේම හැංගුණු කඩවසම්කමක්. සාමාන්‍ය අයෙක්ට වඩා ඒ පෙනුම කැපී පෙනුණා. ඒත් ඔහු ඉඳපු සමාජ මට්ටමේ ඒ ලක්ෂණ කැපී පෙනුනේ නැති තරම්. 2016 වසරේ ඔක්තෝබර් මාසේ දවසක අර්ශාඩ් තේ හදමින් හිටියා. කාර්යබහුල ඔහුගේ ඉස්සරහට ආපු අය ගැන ඔහු සැලකිල්ලක් දැක්වුවේ නෑ. කිසියම් ශබ්දයක් ඇසුණා. කැමරාවක ට්‍රිගරයක ශබ්දයට ගැස්සුණු අර්ශාඩ් තේ හදන ගමන්ම ඉස්සරහ බැලුවා. තේ හදන චායි වාලාගේ මුළු ජීවිතයම කණපිට ගහපු සේයාරුව කැමරාවේ සටහන් වෙන්නේ ඒ මොහොතේදී. සේයාරුව ගත්තේ ජියා අලී කියන ජායාරූප ශිල්පියා. ඔහු තමන් ගත්ත සේයාරුව සමාජ ජාලයක පළකළේ " උණුසුම් තේ කෝප්පයක්" කියන සිරස්තලයෙන්. තේ කෝප්පය කෙසේ වෙතත් තේ හදන කොලුවා ගැන හැමෝම කතා වුණා. පකිස්ථානයෙන් නොනැවතුණු සේයාරුව මුළු ලෝකේ වටේ ක්ෂණයකින් සංසරණය වුණා. 


අර්ශාඩ් ගේ ජීවිතයේ හොඳම කාලය පටන් ගත්තේ ඒ මොහොතෙන් පස්සේ. විලාසිතා ලෝකයේ දැවැන්තයෝ කිහිප දෙනෙක්ගේම අවධානයට මේ සේයාරුව ගිහින් තිබුණා. ඔවුන් මේ තේ හදන කොලුවව හොයන්න සෑහෙන්න වෙහෙසුණා. අවසානයේ ජායාරූප ශිල්පී ජියා අලී හරහාම මේ ආකර්ශනීය තරුණයා හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ හැමදෙයක්ම වෙද්දී අර්ශාඩ් මේ කිසි දෙයක් ගැන හාංකවිසියක් දැන හිටියේ නෑ. තමන්ව හොයාගෙන නන්නාඳුනන අය ආවම අර්ශාඩ් බය වුණා. තමන් හැඩකාරයෙක් වග අර්ශාඩ් කවදාවත් හිතලා තිබුණේ නෑ. පත්තරකරුවන්, රූපවාහිනී නිවේදකයන්, පැපරාසීන් අර්ශාඩ් හොයාගෙන ඇවිත් තේ කඩය වට කරගන්න වුණා. අවසානයේ නිරූපන ශිල්පියෙක් වෙන්න අරාධනා ගණනාවක් අර්ශාඩ්ට ලැබුණා. තමන්ගේ ජීවිතය ගැන හොඳට හිතපු අර්ශාඩ් ජීවිතයේ පෙරළිකාරම තීරණය ගත්තා. ඔහු නිරූපණ ශිල්පියෙක් වෙන්න තීන්දුව ගත්තා. 


අද අර්ශාඩ් ලෝකේ ඉන්න කාර්යබහුලම නිරූපණ ශිල්පියෙක්. එදා කාර්යබහුල තේ හදන චායි වාල්ගේ ඉරණම නැවතුණේ වෙනම තැනක. තමන්ට යම් තැනක් උරුමද එය කිසිවකුටත් වෙනස් කළ නොහැකි බව අර්ශාඩ් ඛාන්ගේ ජීවිතය ලෝකයට පෙන්වූවා. අද වෙද්දී ඔහු සිනමාපට සහ රූපවාහිනී මාලා නාටක කිහිපයකටම සිය දායකත්වය දැක්වූ තරුවක්. පසු කලෙක ඔහු තමන්ගේ අතීතය මෙනෙහි කරමින් මෙවැනි දෙයක් පවසනවා.


" මම දැනගෙන හිටියේ නෑ මම ඒ තරම් හොඳ පෙනුමක් තියෙන කෙනෙක් කියලා. මගේ වැඩිමල් සහෝදරයා නම් කියන්නේ උඹට වඩා මම හැඩයි කියලා. අනෙක ඒ ජායාරූපය මගේ ජීවිතය මේ තරම් වෙනස් කරයි කියලා මම හිතුවේ නෑ. අද වෙද්දී මම ජායාරූප දාස් ගාණකට මුහුණ දීලා තියෙනවා නිරූපන ශිල්පියෙක් විදිහට. ඒත් තවමත් මම එදා තේ හදද්දී අහම්බෙන් ගත්ත ජායාරූපයට කැමැතියි. මොකද ඒ තමයි මම"


___අයේෂ් ලියනගේ___







No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators