Sunday, January 27, 2019

ගින්නත් - සීතලත් මැද සිට ලියමි

ගින්නෙන් උපන් සීතල නැරඹුවෙමි. එබැවින් ප්‍රේක්ෂකයකු ලෙස සිනමාපටය දැනෙන අයුරු ගැන කෙටි සටහනක් ලියන්නට සිතුවෙමි. මෙම සිනමා නිර්මාණය මෑතක නැරඹු සිංහල සිනමාපට අතරින් යම් තාක් දුරකට ඉහළට එසවී පෙනෙන ලක්ෂණය සහිත සිනමාපටයකි. සිනමාපටයේ ප්‍රස්තුතය ඊට බලපෑමක් කරන්නේ සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වන ඉතිහාසය පිළිබඳ සිනමාපට අපට තවමත් ආගන්තුක නිසා වන්නටද පුළුවන. කෙසේ වෙතත් මෙම සිනමාපටයේ මුල , මැද සහ අග අතර පැහැදිළි වෙනස්කමක් ඇති බව හැඟුනි. සිනමා නිර්මාණයේ ආරම්භය යම් ලෙසකින් වාර්තාමය චිත්‍රපටයක ස්වරූපයක් ගන්නා බව මට හැඟුනි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අප දන්නා ඉතිහාසයම නැවත රූපයක් ලෙස පමණක් අපගේ දෘෂ්‍ය පරාසයට හසු වුවත් එය සිතුවිලි හා ගනුදෙනු කළ හැකි රූප රාමුවලින් සමන්විත් වූවක් නොවේ. 



සිනමාපටයට වෘතාන්ත හැඩයක් ලැබෙන්නේ එහි මැද භාගයට එන විටය. එතැන් සිට සිනමාපටය වෘතාන්ත නිර්මාණයක ලක්ෂණ ඇතිව අවසානය තෙක් ගමන් කරයි. රෝහණ විජේවීර රහස් දිවියට ඇතුල් වූ තැන සිට පුද්ගල ජීවිතයක, කුටුම්බයක වේදනාවන් සංවේදී ලෙස ඉදිරිපත් කරන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. එහෙත් විජේවීර නම් චරිතය සතු වූ දේශපාලන කියවීම සිනමාවට ගලපාගන්නට අධ්‍යක්ෂවරයාට අපහසු  වී ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සාකච්ජා ඉතා සාමන්‍ය කතා බහකින්යුක්තය. තත්කාලීන දේශපාලන කාරණා සාකච්ජා කළ අයුරු ගමේ තේ කඩයක් ළඟදී මිනිස්සු එකතු වී කරන සාකච්ජා තරමට ලඝු වී ඇත. 


ගැඹුරු දේශපාලන කාරණා පොදු ප්‍රේක්ෂකයාට දැනෙන අයුරින් සංජානනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් සමාජවාදී දේශපාලන පක්ෂයක දේශපාලන මණ්ඩලයක් සාකච්ජාවට ගන්නා කරුණු කාරණා පොදු මහජනයා ග්‍රහණය කරගන්නා තැනට වෙනස් තැනක සිට සාකච්ජාවට ලක්වන බව තිර රචකයා අනුමාන කළයුතු කාරණාවකි. තිර පිටපත දේශපාලනයට එතරම් සංවේදී වන බවක් නොපෙනෙන්නේ ඒ නිසාය. 


88,89 කාලයේ රාජ්‍ය මර්දනයත්, ප්‍රති මර්දනයත් කඩින් කඩ නිරූපනය වන නමුත් මර්දනය සැලසුම් වන ආකාරය, එය ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රබල තැනකට ගෙනැවිත් නැත. ඕනෑවට වඩා  මර්දනය පෙන්වන්න ගිහින් සිනමාපටය වාරණය කරගන්නේ මොකටද කියා අධ්‍යක්ෂවරයාට හිතුණාද දන්නේ නැත. කෙසේ වුවත් චරිත තෝරාගැනීම ඉහළ මට්ටමක තිබූ අතර සත්‍ය චරිතවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙස පෙනුමට ගැලපෙන පිරිසක් තෝරාගැනීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. ගමනායකගේ චරිතයට මනුවර්ණගේ රූපය ළඟින් ගියත් ඔහු රඟපාන්නේ මනුවර්ණ විදිහටමදැයි කියා හිතේ. ගමනායක චරිතය හැබෑ ඇසින් නොදැක්ක ප්‍රේක්ෂකයකුට ගමනායකගේ චරිතය කෙසේ හැසිරුණාද යන්න ප්‍රශ්නාර්ථයකි. චිත්‍රාංගනීගේ චරිතයට ජීවයක් ගෙනා සුලෝචනා වීරසිංහ එම චරිතයට හොඳ සාධාරණයක් කර තිබේ. ප්‍රධාන චරිතයට පණ පොවන කමල් අද්දරආරච්චි විජේවීරගේ චරිතයට උපරිමයෙන් කිඳා බහින්නට උත්සාහ ගෙන තිබේ. රංගවේදියා යනු තමන් නිරූපනය කරන චරිතයට අනුගත වෙන්නෙක් මිස තමන්ගේ චරිතය පිටපතේ චරිතයට ඔබන්න උත්සාහ කරන අයකු නොවන බවට කමල්ගේ චරිතය අපට පෙන්වීය . 


සිනමාපටයේ මා දුටු හොඳම දර්ශනය අවසන් ජවනිකා කිහිපයයි. විජේවීර ගහලයන් හා යන්ට සැරසෙද්දී ආපසු පැමිණ සිය බිරිඳට දරුවන් හා ආරක්ෂාකාරී තැනකට යන්න කියයි. සැමියා පිළිබඳවත් , දරුවන් පිළිබඳවත්, අනාගතය පිළිබඳවත් වික්ෂිප්ත හැඟීම් ඇති බිරිඳ එහිදී මෙසේ අසයි.


" කොහෙටද යන්නේ ? විල්ලොරාවත්තට යන්නද ?


කිසිත් සිතාගත නොහැකි වු විජේවීර " එහෙට යන්න එපා" කියා පිටව යන්නේ තමාගේ ජීවිතයට වඩා සිය පවුල පිළිබඳ වූ අවිනිශ්චිතතාවයෙනි. දේශපාලන නායකයකුට වඩා පියකුගේ ලක්ෂණ ප්‍රකට කළ එම සිදුවීම පෞද්ගලිකව මා හට සිනමා නිර්මාණයේ වැඩියෙන්ම දැනෙන අවස්ථාව බව කිව යුතුය. එතැන් පටන් ඇදී යන රූප පෙළ සිනමාපටයට උචිත අවසානයකට ගෙන යයි. ගින්නෙන් උපන් සීතල ලාංකීය සිනමාවේ කේන්ද්‍රීය ආමන්ත්‍රණයකි. Downfall, Malcolm X, Invictus, The motorcycle diaries වැනි ලෝකය ආදරය කරන සිනමා නිර්මාණ මේ බිමෙන්ද බිහි විය යුතුව ඇත. අතීතය පිළිබඳවත් , දේශපාලනය පිළිබඳවත් , ජීවිත පිළිබඳවත්  සත්‍ය පවසන එවන් සුවහසක් නිර්මාණ මතු අනාගතයේ බිහි වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. එවැනි උත්සාහයන් දහසක් වෙනුවෙන් ගින්නෙන් උපන් සීතල ඉදිරි පියවරක් විය යුත්තේය.


___අයේෂ් ලියනගේ___







No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators