Monday, August 12, 2019

බාප්පට එරෙහිව යුද වැදුණු හිට්ලර්ගේ ඥාති පුත්‍රයා

බොහෝ දෙනෙක් ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ගැන අසා ඇති නමුත් විලියම් හිට්ලර් ගැන අසා නැතුවා වෙන්න පුළුවන්. විලියම් ස්ටුවර්ට් හිට්ලර් නැතිනම් විලියම් හිට්ලර් යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ සොයුරාගේ පුත්‍රයා. සරලව කීවොත් හිට්ලර්ගේ ඥාති පුත්‍රයා. ඔහු හිට්ලර්ගේ ඥාති පුත්‍රයා වුවත් ඔහු සිය මාමට එරෙහිව ඇමරිකානු හමුදාවට එක් වූ බව කීවොත් ඔබ තවත් පුදුම වනු ඇති. නමුත් එය ඇත්තක්. විලියම් හිට්ලර් ඇමරිකානු නාවික හමුදාවට බැඳී දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව සටන් වැදුණු සෙබළෙක්. ලෝක ඉතිහාසය පෙරලද්දී අපිට හමුවෙන මෙම සිදුවීම එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමක්. ඇඩොල්ෆ් හිට්ලර්ට නම් නිසැකවම එය දෛවයේ සරදමක් වෙන්නට ඇති. 


රජෙක් වගේ වැජඹිලා ජීවත් වන්නට හැකියාව තිබූ විලියම් ඒ අවස්ථාවට පයින් ගසා ඇඩොල්ෆ් හිට්ලර්ගේ වෛරක්කාරයෙක් වුණේ ඇයි ? බොහෝ දෙනෙක්ට එවැනි පැනයක් මතු වේවි. නමුත් හේතුවත් එයම තමයි. විලියම් හිට්ලර්ට අවශ්‍ය වුණේ රජෙක් වගේ වැජඹිලා ඉන්න. නමුත් බාප්පා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නෑ. 1911දී බ්‍රිතාන්‍යයේ ඉපදුණු විලියම් ජර්මනියට පැමිණියේ තමන්ගේ තරුණ කාලයේදී. ඔහුගේ පියාගේ නම ඇලොයිස් හිට්ලර්. මව අයර්ලන්ත ජාතික කතක් වුණු බ්‍රිජට් ඩව්ලින්. ළමා කාලය බ්‍රිතාන්‍යයේ ගත කළත් පියාගේ දෙවැනි විවාහයත් සමඟ විලියම් ජර්මනියට සංක්‍රමණය වෙන්නේ බාප්පා ජර්මන් චාන්සලර් ලෙස වැඩ භාරගත් සමයේ. ඔවුන් බලාපොරොත්තු වූයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ බල අධිකාරිය යටතේ වැජඹීමට වුවත් ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් සිතූ තරමේ විශේෂ සැළකිලි ඔවුනට හිමිවුණේ නෑ. 




විලීට අවශ්‍ය වූයේ රජයේ උසස් රැකියාවක්. නමුත් ඔහුට සිදුවුයේ මෝටර් රථ සමාගමක සේවකයකු ලෙස සේවය කිරීමට. බාප්පා නායකයා වූ රටේ තමන්ට සාමාන්‍ය සේවකයකු ලෙස සිටින්නට සිදුවීම ඔහුට මදිකමක් වුණා. ඔහු සිය බාප්පාගෙන් ඉල්ලීමක් කළත් ඔහුගේ කොන්දේසිවලට යටත් වීමට විලියම් සූදානම් වුණේ නෑ. උසස් රැකියාවක් ලබා ගැනීමට නම් හිට්ලර් දුන් ප්‍රධානම කොන්දේසිය වූයේ වහාම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කරගත යුතු වීමයි. නමුත් විලියම් එයට කිසිදු කැමැත්තක් දැක්වූයේ නෑ. 




මේ කොන්දේසිවලින් කිපුණු විලී අවසානයේ සිය බාප්පාට තර්ජනය කරන්නට වුණා. ඔහු තර්ජනය කරමින් කියා සිටියේ තමා හිට්ලර්වරුන්ගේ යටගියාව පිළිබඳව පුවත්පත්වලට සම්මුඛ සාකච්ජා ලබා දෙන බවයි. හිට්ලර් තමාගේ යුදෙව් සම්භවයේ යටගියාව පිළිබඳව ලැජ්ජාවකින් පෙළුණු මිනිසෙක් බව ලොවම දන්නා කරුණක්. තම සීයා යුදෙව්වකු වීම පිළිබඳව ඔහුට තිබුණේ වෛරයක් බව පැවසේ. කෙසේ හෝ තමන්ගේ ඉල්ලීම ඉටු නොවුණු තැන විලියම් පෙරලා බ්‍රිතාන්‍යයට පැමිණෙනවා. ආ සැනින් ඔහු බ්‍රිතාන්‍යයේ Look සඟරාවට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් හිට්ලර්වරුන්ගේ යටගියාවන් පිළිබඳව තමා දන්නා සියල්ල වමාරනවා. එය සඟරාවේ පළවූයේ "Why I Hate my Uncle යන ශීර්ෂයෙන්. 


1939 වසරේදී ඔහු ඇමරිකාවේ සංචාරයකට එක්වූයේ සිය මව සමඟින්. ඇමරිකානු සංචාරයේදී බොහෝ වෙනස්කම් සිදුවුණා. විශේෂ සැලකිල්ලක් සේ සලකා ඔවුන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබා දෙන්නට එවක ඇමරිකානු ජනපති රුස්වේල්ට් කටයුතු කළා. 1944 දී ඔහු ඇමරිකානු නාවික හමුදාවේ සේවයට එක් වූ අතර දෙවැනි ලෝක යුද පෙරමුණට යෑමටත් ඔහුට සිදුවුණා. එහිදී තුවාල ලැබූ ඔහු පෙරළා ඇමරිකාවට පැමිණෙනවා. එසේ පැමිණි ඔහු "පර්පල් හාට්" හමුදා සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඇමරිකාවට පැමිණි ඔහු ජර්මන් සම්භවයක් ඇති තරුණියක වූ Phyllis Jean-Jacques හා විවාහ වූවා. ඔවුන්ට පිරිමි දරුවන් සිව් දෙනකු ලැබුණා. ලෝක යුද්ධයෙන් පසුව ඔවුන් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර ඉතා සාමකාමී දිවි පෙවෙතක් ගත කරන්නට වුණා. විලියම් තමන්ගේ වාසගමේ වූ හිට්ලර් යන කොටසට වෛර කළ නිසාම තමන්ගේ වාසගම stuart Houston ලෙස වෙනස් කළා. ඇමරිකාවේදී සාමාන්‍ය දිවිපෙවතක් ගත කළ මේ මිනිසා 1987 වසරේ ජූලි 14දා මිය ගියා. 


ඔහුගේ ජීවිත කතාව අවස්ථා ගණනාවකදී කෘති ගණනාවක් ඔස්සේ පළවුණා. 2011 වසරේදී පළවූ The Hitlers of Liverpool කෘතිය බොහෝ දෙනාගේ අවධානය හිමිකරගත්තා. පසුගියදා නැවත වතාවක් බටහිර මාධ්‍ය විලියම්ගේ මතකය අවදිකර තිබුණා. විලියම් හිට්ලර්ගේ ජීවිතයට ලෝක අවධානය හිමි වූයේ එය එක්තරා ආකාරයක දෛවය පිළිබඳ කතාවක් නිසා විය හැකියි. එක්තරා යුගයක ලෝකයේ බලවත්ම මිනිසාගේ ඥාති පුත්‍රයාව සිටි මිනිසෙක්ට තමන්ගේ ජන්ම උරුමය ඇති රටටත්, සිය බාප්පටත් එරෙහිව විදෙස් රටක හමුදාවකට එක් වී සටන් කරන්නට සිදු වීමම දෛවයේ පුදුමසහගත බව සනාථ වීමකි.



___අයේෂ් ලියනගේ___




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators