ලෝකයේ බොහොමයක් මුල්‍යායතන, බැංකු ආදිය නිර්මාණය වී තිබෙන්නේම පොඩි මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට වඩා ලොකු මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. මහා පරිමාණ ව්‍යාපාරිකයෙක්ට බැංකුවකින් හෝ වෙනයම් මූල්‍ය ආයතනයකින් ලැබෙන සැලකීම පහළ පංතියේ මිනිසෙක්ට නොලැබෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. ඒක ලෝකේ කොහෙත් එකයි. ධනේශ්වර සමාජයේ ආකෘතියම ඒකයි. නමුත් මේ කියන්න යන්නේ එවැනි බැංකුවක සේවය කරපු මිනිසෙක් ගැන කතාවක්. ඔහු නිකං මිනිසෙක් නෙමෙයි. රොබින්හුඩ් පන්නයේ මිනිසෙක්.
නමින් " ගිල්බෙර්තෝ බැශේරා" වූ ඔහු සේවය කළේ ඉතාලියේ Forni di Sopra ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බැංකුවක. ඔහු නිකම්ම සේවකයකු වුණේ නෑ. ඔහු සේවය කළේ ඒ බැංකුවේ ප්‍රධාන කළමනාකරු විදිහට. ඔහු සාමාන්‍යයෙන් සංවේදී මිනිසෙක්. බැංකුකරුවකුට නොවන තරමේ සංවේදීකමක් තිබූ ගිල්බෙර්තෝ අසරණ මිනිසුන්ගේ අසරණකම් ඉදිරියේ හදවතින් වේදනා විඳි අවස්ථා අනන්තව තිබුණා. නමුත් ආයතනික රෙගුලාසිවලට පිටින් කිසිවක් කරන්නට ඔහුට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසර වුණේ 2009 වසරයි.
ඒ යුරෝපා කලාපයේම ආර්ථික කුණාටු හැමූ සමයක්. බැංකුවල නීති රීති පවා වෙනස් වූ සමයක්. අඩු ආදායම්ලාභීන්ට තියා සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක්ටවත් බැංකු ණයක් ලබා ගැනීම ඉතා දුෂ්කර වුණා. මේ කාලයේ එම පළාතේම ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයකු ඉතා අත්‍යවශ්‍ය කාරණාවක් වෙනුවෙන් ඉතා සුළු ණයක් ඉල්ලා සිටියා. නමුත් ඔහුගේ ආදායම ණය ලබා දීමට සුදුසු මට්ටක තිබුණේ නැත. කිසිදු විකල්පයක් නොමැතිව අසරණ වී සිටි මිනිසාගේ වේදනාව දුටු ගිල්බෙර්තෝ හට මෙය මග හරින්න නොහැකි වුණා. බොහෝ වේලා කල්පනා කළ ඔහු අවසානයේ කිසියම් තීරණයකට පැමිණියා. ඔහුගේ තීරණය වුණේ ධනවත් සේවාදායකයකුගේ ගිණුමකින් මුදල් ගෙන අසරණ මිනිසාගේ ගිණුමට දමා ඔහුගේ ආදායම් ප්‍රමාණය ණය ගැනීමට සුදුසු තත්ත්වයට ගැනීමයි. සිතූ ලෙසටම ඔහු මෙය ක්‍රියාත්මක කළා. පෙරකී මිනිසා ණය ලබා ගැනීමට සුදුස්සකු වුණා.
මෙය නීතියට විරුද්ධ කටයුත්තක් බව දැන සිටියත් ගිල්බෙර්තෝ පෙරකී මිනිසාගෙන් එක් පොරොන්දුවක් ලබා ගත්තා. ඒ ඔහුගේ ගිණුමට බැර කළ මුදල නැවත ගෙවන බවට. ඔහුත් ඊට එකඟ වුණා. මේ සිදුවීම රහසක් වුණේ නෑ. පෙර කී මිනිසාගේ කටින් පිටවූ රහස දැනගත් දුප්පත් මිනිසුන් එකා දෙන්නා බැංකුවට ඇදෙන්න වුණා. ඔවුන්ගේ නැතිබැරිකම් ගිල්බෙර්තෝ සමඟ පවසන්න ගත්තා. විවිධ රෝගාබාධ ඇති මිනිසුන්, අත්‍යවශ්‍ය ජීවිත වුවමනාවන් ඇති මිනිසුන් ගිල්බෙර්තෝගේ උදව් ඉල්ලා වැල නොකැඩී ඇදී එන්න වුණා. මේ මිනිසුන්ගේ ඉල්ලීම්වලට පිටු පාන්නට ගිල්බෙර්තෝ හැකි වුණේ නෑ. ඔහුට රොබින්හුඩ් වෙන්නට සිදු වුණා. සල්ලිකාරයන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් ඇති ගිණුම් ගණනාවක් බැංකුව සතු වුණා. ඒ ගිණුම්වලින් මුදල් ඇද දුප්පතුන්ට දෙන්නට ඔහු පටන් ගත්තා. එම මුදල් නැවත බැංකුවට ගෙවන බව මිනිසුන් පොරොන්දු වුවත් ඇතැමුන් එම මුදල් ගෙවීම පැහැර හැරියා.
කෙසේ හෝ යූරෝ මිලියනයක මුදල් බැංකු නීතියට පිටින් ඔහු අසරණ මිනිසුන්ට ලබා දුන්නා. කොතරම් යහපත් චේතනාවෙන් කළ කාර්යයක් වුවත් එහි වූ වැරැද්ද වහන්නට ඔහු ප්‍රමාද වුණා. අවසානයේ ගිල්බෙර්තෝ නීතියේ රැහැනට හසු වූයේ විගණන අසමානතාවක් හේතුවෙන්. ඔහු සියල්ල පාපෝච්චාරණය කළා. සියල්ල සැකයකින් තොරව ඔප්පු වූ නිසා ඔහුට හිර ගෙදර ජීවිතය උරුම වුණා. ඔහුගේ දේපළ පවා රාජසන්තක වුණා. අද ඔහුට ජීවත් වන්නට බිම් කඩක්වත් නැති මිනිසෙක්. රැකියාව සහ ගේ දොර අහිමි වූ ඔහු අද යාචකයෙකුගේ මට්ටමට ඇද වැටී සිටිනවා. ඔහුගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගත් ඇතැම් මිනිසුන් ඔහුට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා තමන්ට මේ තත්ත්වය උදා වූ බව දඬුවම් විඳ පැමිණි ගිල්බෙර්තෝ මාධ්‍යයට පවසා තිබුණා. ඉතාලි පුවත්පතක් වන Corriere della Sera සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදී පුවත්පත් මාධ්‍යවේදියා ඔහුගෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න කරනවා.
අද ඔබ මේ ගැන පසුතැවිලි වෙනවද? එයට සිනහ වෙන ගිල්බෙර්තෝ ටික වෙලාවකට පසු මෙසේ පවසනවා.
" මට ඕන වුණේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. ඔවුන් මගේ විශ්වාසය කැඩීම ගැන දුකක් තිබුණත් මිනිස්සුන්ට උදව් කරන්න මට තිබුණු හැඟීම ගැන මම දුක් වෙන්නේ නෑ.
මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ කළ පිරිස් ඔහු පිළිබඳව අවංකව පැවසූ දෙයක් තිබුණා.
" ඔහු ඒ මුදල් කිසිවක් පෞද්ගලික දෙයක් වෙනුවෙන් කවදාවත් වියදම් කරලා නැති බව අපි සොයාගත්තා. ඒ සියල්ල ඔහු අසරණ මිනිසුන්ගේම වුවමනාවන්වලට පමණයි බෙදා දී තිබුණේ" මෙම ප්‍රකාශයත් සමඟින් යුරෝපා මාධ්‍ය ඔහුට ඉතිහාසගත නමක් පටබඳිනවා. " ගිල්බෙර්තෝ නොහොත් ඇල්ප්ස් කඳුකරයේ රොබින්හුඩ්".
No comments:
Post a Comment