Wednesday, May 31, 2017

සුද්දන්ටත් රොටී විකුණන ලාංකිකයා

තමන් උපන් රටෙන් පිටවෙලා ගිහින් වෙනත් රටක ඉඳන් ව්‍යාපාරයක් ජයගන්නවා කියන්නේ ඉතාම දුෂ්කර කර්තව්‍යයක්. නමුත් ඒක සැබෑවක් කරගත් මිනිස්සු ඕනෑතරම් ලෝකයේ ඉන්නවා. මේ කියන්න යන්නේ ලංකාවෙන් නවසීලන්තයට ගිහින් ව්‍යාපාරයක් සාර්ථක කරගත්ත මිනිසෙක් ගැන. ඔහු ද්‍රවිඩ ජාතිකයෙක්. නම කාන්තස්වාමි නල්ලතම්බි. ඔහු අද ජීවත් වන්නේ නවසීලන්තයේ ස්ටොක්ස් වැලි කියන ප්‍රදේශයේ. 2013 වසරේ මුලින්ම ඔහු නවසීලන්තයේ පයගහන්නේ දෙමළ සරණාගතයෙක් විදිහට. ඒ අවුරුදු ගණනක් තායිලන්තයේ සරණාගත කඳවුරක ජීවත් වුණාටත් පස්සේ. 


උතුරු නැගෙනහිර යුද්ධය සමයේ ඔහු ලංකාව හැර යන්නේ යුද්ධය ජීවත් වීමට තරම් හිතකර පරිසරයක් උතුරේ තිබුණේ නැති නිසයි. කෙසේ හෝ ඔහු නවසීලන්තයට පය ගැහුවා. එතැන් පටන් ඔහුට ජීවත් වෙන්න රැකියාවක් ඕනෑ වුණා. ලංකාවේදී ඔහු කෝකියෙක් විදිහට රැකියාව කළ නිසා නවසීලන්තයේදීත් ඔහු ඒ රස්සාවම කරන්න හිතුවා. 




කාන්තස්වාමි පවසන්නේ මිනිසුන්ට හොඳ කෑම වේලක් ලබා දීම ඔහු ලබන සතුට බවයි. මුදල් අරමුණටත් වඩා තමන් උයන කෑම වේලකින් මිනිසුන් සතුටු වනු දැකීම තමන්ගේ සතුට බව ඔහු පවසනවා. කොහොම හරි අවසානයේ ඔහු ස්ටොක් වැලී ප්‍රදේශයේ ග්ලෙන් මාවතේ තමන්ගේම අවන්හලක් අරඹනවා. එහි තිබුණු විශේෂත්වය තමයි දකුණු ආසියාවට අවේණික රොටී වර්ග, තොසේ වර්ග සහ ලංකාවට අවේණික ව්‍යංජන එහි අලෙවි කිරීම. 


නවසීලන්තයේ මිනිස්සු කාන්තස්වාමිගේ කෑමවලට වහ වැටුණා. දවසින් දවස මේ රොටී කඩේ නවසීලන්තයේ ජනප්‍රිය වුණා. හැම සතියේම අඟහරුවාදා ඉඳන් සිකුරාදා වෙනකල් මේ රොටී අවන්හල විවෘතයි. සති අන්තයේ ඔහු යනවා වෙලිංටන්වල රාත්‍රී වෙළෙඳපොළට. එතැනත් ඔහු පොඩි අවන්හලක් ආරම්භ කළා. දැන් ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. නමුත් තවම ඔහුට ඉංග්‍රීසි භාෂාවේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒත් ඔහු ඒක තමන්ගේ ජීවිතේ ඉදිරි ගමනට බාධාවක් කරගත්තේ නෑ. 


කාන්තස්වාමිගේ බිරිඳගේ නම ගියෝකිලාම්. ඇයත් ද්‍රවිඩ ජාතික කාන්තාවක්. ඔහුට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. කාන්තස්වාමි කියන විදිහට ඔහුට තියෙන ලොකුම බලාපොරොත්තුව තමන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් හොඳින් ඉගැන්වීම. කාන්තස්වාමිගේ කෑම ගැන ස්ටොක්ස් වැලීවල ජීවත් වෙන ජෙසිකා නේතන්ගේ අදහසක් අන්තර්ජාලයේ පළවී තිබුණේ මේ විදිහට.


"ඒ කෑමනම් විශිෂ්ටයි. පුදුම රහයි. මම බටර් චිකන් කන්නේ එතැනින් විතරමයි. ඒ වගේම ඒ අය හරිම මිත්‍රශීලි මිනිස්සු" 


මේ එක් අයෙක්ගේ අදහසක් විතරයි. ඒ නිසා නවසීලන්ත ජාතිකයින් බොහෝ දෙනෙක් කාන්තස්වාමිගේ කෑමවලට වහවැටිලා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. 



___අයේෂ් ලියනගේ___










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators