ආගමක් යනු මිනිසා වේදනාවෙන් ගලවාගන්නා ගැලවුම් මාර්ගයකි. කවර ආගමක වුවද සැබෑ අරමුණ වන්නේ එයයි. එසේම සැබෑ ආගමික නායකයෙක් සතු වගකීම වන්නේද මිනිසාට දුකෙන් මිදෙන මාර්ගය පෙන්වා දීමයි . එම මාර්ගය පෙන්වන විට අනෙකාගේ වර්ගය ආගම ජාතිය සැබෑ ආගමික නායකයාට නොවැදගත් දේවල්ය. ඔබ මේ දකින සේයාරුව කැමරා කාචයේ සටහන් වන්නේ 1962 වසරේදීය. ඒ වෙනිසියුවේලාහි කැරැල්ල අතරතුරදීය. මෙහි බැලූ බැල්මට ඛේදවාචකය පෙනෙනවා. මේ සොල්දාදුවා ස්නයිපර්වරයෙක්ගේ වෙඩි පහරකට ලක් වෙනවා. ඔහු ජීවිතය ඉල්ලමින් මේ කතෝලික පියනම ළඟ දනින් වැටෙනවා. මේ කතෝලික පියනමගේ නම ලුවිස් පැදිල්ලෝ. ඔහුට කළ හැක්කේ එකම එක දෙයක් පමණයි. ඒ මියයන සොල්දාදුවා වෙනුවෙන් දෙවියන් යැදීමයි. ඔහු සොල්දාදුවා මියෙන තෙක් ඔහු වෙනුවෙන් දෙවියන් අයදිනවා. මියගිය පසු මියගිය ආත්මය වෙනුවෙන් දෙවියන් යදිනවා. එපමණකින් ඔහු නවතින්නේ නෑ . වීදියේ මියගොස් සිටින අනෙක් සෑම සොල්දාදුවෙක් අසලටම ගොස් ඔහු අවසන් වතාවත සිදු කරනවා. මේ සියල්ල ඔහු කරන්නේ යුද ගිනිදැල් මැදින් ගොස් වෙඩි උණ්ඩ අතරින් රිංගමින්. ඒ සියල්ල කරන්නට එතුමන් විශ්වාස කළ පරිදි දෙවියන්ගේ ආශිර්වාදය ඔහුට ලැබෙන්නට ඇති.
මේ සිදුවීම් පෙළ එක්තරා ජායාරූප ශිල්පියෙක් තමන්ගේ කැමරාවේ සටහන් කරගත්තා. ජායාරූප ශිල්පියාගේ නම හෙක්ටර් රොන්ඩන් ලොවේරා. ඔහු මේ සේයාරුව ගත් මොහොත ගැන මෙහෙම කියනවා " පූජකතුමන් වීදියට ආපු වෙලාවේ මම හිටියේ සමතලා කරපු බිත්තියක් ළඟ. හැම පැත්තෙන්ම වෙඩි උණ්ඩ ඉගිලුණා. විනාඩි හතලිස් පහක් මම ජායාරූප ගත්තා. ඇත්තටම ඒ විනාඩි හතලිස් පහේදී මම මාව හොයාගත්තා"
මේ සේයාරුව වෙනිසුවේලා හි පුවත්පතක් වූ "ලා රිපබ්ලිකා" හි පළවූ අතර එයට ලැබුණේ විශාල ප්‍රසිද්ධියක්. ලොව පුරා ප්‍රසිද්ධ වූ මෙම සේයාරුවට 1963 වසරේදී ලෝකයේ හොඳම පුවත්පත් ජායාරූපයට හිමි සම්මානය හිමි වුණා. එසේම 1963 වසරේදී මේ වෙනුවෙන් ජායාරූප සඳහා හිමිවන ඉහළම සම්මානය වූ පුලිට්සර් සම්මානය හිමි වුණා.
___අයේෂ් ලියනගේ ___
No comments:
Post a Comment