Tuesday, May 23, 2017

මහා වනයක් මැවූ පොඩි මිනිසා

අප මීට පෙර කැලයක් වැවූ මිනිසෙක් නමින් ලිපියක් පළකළේ අන්තෝනියෝ නම් වූ බ්‍රසීල ජාතිකයෙක් ගැන. මේ කියන්න යන්නේ අසල්වැසි ඉන්දියානුවෙක් ගැන. ඔහුත් කැලයක් වවපු උතුම් මිනිසෙක්. ඔහු නමින් ජාදව් මොලාලි පායෙන්ග්. ඔහුට කැලයක් වවන්න ඕනෑ කියන හැඟීම ඇති වුණේ අවුරුදු 16ක් තරම් කුඩා අවධියක. ඔහු උපන්නේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ජෝර්හාත් කියන ප්‍රදේශයේ. ඔහු ජීවත් වුණු පළාතේ තිබුණේ අධික වියළි දේශගුණයක්. කුඩා කාලයේ ඔහු දැක්කා සතුන් වතුර නැතිව මිය ගිය හැටි. ඔහු මුලින්ම කළේ උණ ගස් විස්සක් හිටවපු එක. 1979 වසරේදී ඔහුට වනසංරක්ෂණ ව්‍යාපෘතියක සේවය කරන්න අවස්ථාවක් ලැබීමත් සමග බොහෝ දේ වෙනස් වුණා. වන රෝපණය ගැන මුල්ම පාඩම ඔහු එතැනින් ඉගෙන ගත්තා. 


ඒ ව්‍යාපෘතියේ ජාදව් වැඩ කළේ සාමාන්‍ය කම්කරුවෙක් විදිහට. ඔවුන්ට පැවරිලා තිබුණේ හෙක්ටයාර් දෙසීයක් පුරා පැල වැවීම. කොහොම වුනත් ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ සියලුම කම්කරුවන් ඉවත් වී යන්න ගියා. නමුත් ජාදව් ගියේ නෑ. ඔහු නැවතුණා. ඔහු හිතුවා පැල වවලා අත් හැරලා යනවට වඩා කරන්න දෙයක් තියෙනවා කියලා. ඔහු තව තවත් පැල වවන්න ගත්තා. වසර වසර ගත වුණා. අවසානයේ ඔහු අක්කර 1360ක වපසරියක වැවූ පැල ගස් වී තිබුණා. අද එය මහා විශාල වනයක්. නිකං නෙමෙයි අලි කොටි වලස්සු ඉන්න මහා වනයක්. ඔහුගේ මුළු ජීවිතයම එතැනට කැප වුණා. ඒ කිසි දෙයක් ඔහු කළේ ලාබ අපේක්ෂාවකින් නෙමෙයි. අද ඔහු වැවූ කැලයට ඔහුගේ නම දීලා තියෙනවා .


"මොලායි වනාන්තරය" කියූ විට අද ඔහු වැවූ වනය ලෝක ප්‍රසිද්ධයි. දෙස් විදෙස් සංචාරකයින් ලෝකයේ දස දෙසින් පැමිණෙන්නේ තනි මිනිසෙක් කළ මේ විශ්මකර්මය දැකීමටයි. 1979 වසරේ ඔහු ආරම්භ කළ මේ මහා කර්තව්‍යයට බලධාරීන්ගේ අවධානය හිමි වුණේ 2008 වසර තරම් මෑත කාලයක. එතැන් පටන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ වනාන්තරය පාලනය වනවා. අද වනවිට මෙහි ශාක විශේෂ දහස් ගණනක් තිබෙනවා. බෙංගාල ව්‍යාග්‍රයන්, අලි ඇතුන් සහ ඉන්දියානු රයිනෝසිරස් සතුන්ද මෙම වනයේ එමට සිටී. පසුගිය කාලයේ සිත් පිත් නැති දඩයක්කරුවන් මෙම වනයේ සිටි රයිනෝ සතුන් අං ලබාගැනීම පිණිස මරා දමා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණා. ජාදව් කළ මෙහෙය දුටු ඉන්දීය බලධාරීන් ඔහුටම මෙම වනයේ පාලනය බලය ලබා දුන්නා. අද ජාදව් ඉන්දියාවේ සිටින ඉදිරිපෙළ පරිසරවේදියෙක් විදිහට පිළිගැනෙනවා. 


ජාදව්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු නොකීවොත් එය මදිකමක්. ඔහු අද ජීවත්වන්නේ මේ වනාන්තරය ඇතුලේම ඉදිකරගත් කුඩා නිවෙසකයි. ඔහුගේ බිරිඳගේ නම බිනීතා. ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඔහුගේ ජිවන වෘතිය වෙලා තියෙන්නේ කිරි වෙළෙඳාම. එය තමයි ඔහුට තියෙන එකම ජීවත් වීමේ ක්‍රමය. කොහොමවුණත් ඔහුගේ හරක් පට්ටියේ ඉන්න හරක් සියයක් විතර ඔහුගේම කැලයේ ඉන්න කොටින්ට ගොදුරු වී තිබෙනවා. නමුත් ඔහු ඒ ගැන බණින්නේ සතුන්ට නෙමෙයි. ඔහු කියන්නේ වනාන්තරයේ සීමාවල් මිනිස්සු අල්ලගන්න නිසා සත්තුන්ට විහිදිලා යන්න තියෙන ඉඩකඩ මදියි කියලයි. 


කොහොමවුනත් ඔහු ස්වාභාදහමට තදින්ම බැඳුණු මිනිසෙක්. මේ පුදුමාකාර මිනිසා කළ මෙහෙය වෙනුවෙන් ඉන්දියාවේ විශ්ව විද්‍යාල ගණනාවකින් ඔහුට ගෞරව සම්මාන පිරිනැමුණා. 2015 වසරේදී ඉන්දීය ජාතිකයකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ "පද්ම ශ්‍රී සම්මානයෙන්" ඔහු පිදුම් ලැබුවා. කෙසේ හෝ වසර තිස් හයකට පසුව ඔහු කළ මෙහෙය වෙනුවෙන් ඔහුට සැබෑ ගෞරවය හිමිවුණා.



___අයේෂ් ලියනගේ___






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators