Saturday, May 27, 2017

කෝ අර තිරසර සංවර්ධනේ ?

අද හතර අතින්ම යටවී ඇති රට මීට කලකට ඉහතදී මේ අයුරින් ආපදාවට ලක් වූයේ නැත. මේ රට ස්වභාවික විපත්තීන් අවම රටක් ලෙස කලක් සැලකූ රටකි. අද සිදු වන ස්වභාවික විපත්තීන් ගණනය කරන්නටත් බැරි තරම්ය. එහෙ බලා මෙහෙ බලන විට තවත් විපතකි. ජීවිත ගණනක් නැතිව ගොසිනි. මෙහෙම ගියොත් රටට ගොඩ එන්න ක්‍රමයක් නැත. දැන් කළ යුත්තේ මේවට හේතුවන කාරණා සොයා ගැනීමයි. ඒවාට පිළියම් කිරීමයි. ගං වතුර, නාය යෑම් වැනි ස්වභාවික විපත්තීන් මිනිසාට පාලනය කිරීමට හැකි සීමාවක්ද ඇත. අපි ඒ සීමාව ගැන නොදැන බොහෝ දුර ගොස් ඇත. නැවත ආපස්සට පැමිණ වැරදුණේ කොතැනද කියා සිතා බලන්න පාලකයනුත් සූදානම් විය යුතුය. 



පරිසරය ගැන අපේ මහතැන්ලා තුට්ටුවකට මායිම් කළේ නැත . පරිසරයත් රැකගෙන සංවර්ධනය කරන හැටි අපේ මිනිස්සු ගණන් ගත්තේ නැත. අපේ රටේ හරි අපූරු ජාවාරම් ඇත. එකක් වගුරු ගොඩ කර විකිණීමය. අනෙක පස් ජාවාරාමය. ඕවා කරන්නේ අසීමිත මුදල් රැස් කිරීමට විනා අන් හේතුවකට නොවේ. ඔය හැම ජාවාරමක් පිටුපසම ඇත්තේ දේශපාලනයට සම්බන්ධ මගෝඩියකුගේ බළල් අතකි. ඉතිං කවුරුත් සද්ද නැත. සද්ද කළොත් වැඩ වරදින්නේය. වගුරු ගොඩ කළාම ගං වතුර ඩබල් වන බවත් පස් කැපුවාම නාය යන බවත් උන් නොදන්නවා නොවේ. උන් ඒවා හොඳට දනී. ඒ නිසා උන් ගෙවල් හදන්නේ ඔය කිසි එහෙකට අහු නොවන්නටය. උන් බේරෙති. උන්ගේ පවට මිනිස්සු වැළලෙති. 


"තිරසර සංවර්ධනය" දේශපාලන වේදිකාවල නිතරම ඇහෙන වචනයකි. තිරසර සංවර්ධනය ඇතැම් ලොක්කෝ මන්තරය වාගේ කියවති. නමුත් කොරන බම්බුවක් නැත. ඒ වචන සාමාන්‍ය මිනිහාට තේරෙන්නේ නැත. ඉතිං මිනිස්සුන්ටද ගාණක් නැත. මේ වචන රට්ටු රවට්ටන්න නම් මරුය. තිරසාර සංවර්ධනය ගැන දේශනා දී පස් කඳු කපන දිහා, වගුරු ගොඩ කරන දිහා, කැලෑ කපන දිහා දැක්කේ නෑ වගේ සිටී. උන් තක්බීරි වන්නේ මිනිස්සු වැළලෙන්නට ගත්තට පස්සේය. අපේ රටේ ඕනෑම විපත්තියක් වූ සැනෙකින් මහතැන්ලා කරන්නේ එහෙට මෙහෙට උපදෙස් දීමය. උපදෙස් දුන්නත් නැතත් රාජ්‍ය තන්ත්‍රය හැදී ඇත්තේ ඒවා කිරීමටය. උපදෙස් දීමට වඩා කරන්න වැඩ ඕන තරම් තිබේ. කරන්න විදිහක් නැත්තේ හරි දේ කළොත් මල්ල පිරෙන්නේ නැති නිසයි. දැසි දස්සෝ නැති වන නිසයි. 


ඉතිං මේ විපත් හැමදාම දෙයියන්ටම බාර දී ඉන්නද ? දෙයියන්ට කොරන්න දෙයක් නැත. පාර්ලිමේන්තුවක් හදා ඒකට ගමෙන් එකෙක් යැවුවේ අපි ඔක්කොටොම එතැනට යන්න බැරි නිසාය. ඒත් මිනිස්සු ඒක දන්නේ නැත. රටේ සම්පත් ටික රකින්න, කැලෑ ටික රැකගන්න, වගුරු ටික රැකගන්න, සංවර්ධනේ කොරන ගමන් පරිසරේ රැකගන්න එතැන ඉන්න මහතැන්ලාටත් වගකීමක් ඇත. නැතුව නිල නිවාස ටික සැපට හදාගෙන, සුපිරි වාහනේකුත් අරගෙන ෂපාන් එකේ විතරක් ඉන්නනම් අපි ඒ මහත්වරුන්ව එතනට යවන්න ඕන නැත. ලබන අවුරුද්දේ වෙන්න තියෙන දේට මේ අවුරුද්දේ ඉඳන් හරි ලැස්ති වෙන්න වැඩ කළොත් වටින්නේය. දැන්වත් කයිය නොගහා අර බම්බුවේ තිරසර සංවර්ධනේ කළොත් අනේ පිං සිද්ද වන්නේය......


___අයේෂ් ලියනගේ___




No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators