Tuesday, December 30, 2014

පොත් කියවන්නන්ගේ නගර

පොත පත කියැවීම යනු හුදෙක් විනෝදාස්වාදය පිණිස පමණක් සිදු කරනා දෙයක් නොවන අතර එය මිනිසාගේ දැනුම මුවහත් කරනා ප්‍රධාන මෙවලමකි. කියැවීම තුළ මිනිසාගේ අත්දැකීම්, චින්තනය, සහ නිර්මාණශිලිත්වය පුළුල් වේ. එබැවින් අප මෙහි දක්වන්නේ ලෝ ප්‍රකට " Readers digest" සඟරාව විසින් පළ කළ ලෝකයේ පොත පතට ලැදි මිනිසුන් හට සිටීමට වඩාත් හොඳ නගර කිහිපයක් පිළිබඳව වූ වාර්තාවකි.

1. ඩබ්ලින් - අයර්ලන්තය


අයර්ලන්තයේ ඩබ්ලින් යනු ලෝ ප්‍රකට සම්මානනීය ලේඛකයන්ගේ පහස ලැබූ නගරයකි. Joyce, Yeats, Shaw සහ Beckett වැනි ලෝ පතල ලේඛකයන්ගේ පහස ලැබූ මෙම අයර්ලන්තයේ ඩබ්ලින් නුවර 2010 වසරේ UNESCO සංවිධානය විසින් "සාහිත්‍යයේ නගරය ලෙස" (City of Literature) ලෙස නම් කරනු ලැබීය. තවද ලේඛන කලාව හා සබැඳි ඩබ්ලින්හි පිහිටා ඇති ජාතික මුද්‍රණ කෞතුකාගාරය (National Print Museum) ලෝ ප්‍රකට කෞතුකාගාරයක් ලෙසද ප්‍රකට වී ඇත.

2. සැන් පිටර්ස්බර්ග් - රුසියාව



රුසියාව යනු මහා සාහිත්‍යයක් තිබූ රාජ්‍යයක් බව බොහෝ දෙනා දනී. විශේෂයෙන්ම රුසියානු සමුහාණ්ඩුව සමයේ පටන් සාහිත්‍ය වෙනුවෙන් විශාල කාර්යභාරයක් රුසියාව විසින් ඉටු කර ඇත. රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කේන්ද්‍රස්ථානය වූයේ සැන් පිටර්ස්බර්ග් නුවර බව එරට සාහිත්‍ය වේදීන් පවසයි. විශේෂයෙන්ම "පියදෝර් දොස්තයෙවුස්කි" " ඇලෙක්සැන්ඩර් පුෂ්කින්" වැනි ලෝ ප්‍රකට ලේඛකයින් සිය ලේඛන කටයුතු වළ නිරත වී ඇත්තේ මෙම නගරය තුළ සිට වන අතර අද ඔවුන් සිටි ස්ථාන සාහිත්‍ය කෞතුකාගාර ලෙස දැකගත හැක.

3. බොස්ටන් - ඇමරිකා එක්සත් ජනපදය


සිනමාවට කැලිෆෝර්නියව සේ, ආර්ථිකයට නිව් යෝර්ක් සේ ඇමරිකා එක්සත් ජනපදයේ සාහිත්‍ය සඳහා ප්‍රචලිත නගරය වන්නේ "බොස්ටන්" නුවරයි. ලෝ ප්‍රකට වූ ඇමරිකානු ලේඛකයන් වන Nathaniel Hawthorne, David Thoreau සහ Ralph Waldo Emerson වැනි වියතුන් බොස්ටන් නුවර සිය ලේඛනය සඳහා තෝරා ගත් පුද්ගලයින් වේ. Charles Dickens, Henry James වැනි ගත්කතු වරුන්ද කලක් මෙම නගරය සිය නවාතැන් පලක් කොටගෙන සිටි බවද කියැවේ. පාඨකයන් සහ ලේඛකයන් හමු වන සුහද හමු සහ වැඩමුළු ආදිය බොස්ටන් නුවර හැම විටෙකම ක්‍රියාත්මක වන වැඩසටහන් වේ. විශාල වශයෙන් ලේඛක සහ පාඨක සමාජ ගණනාවක් මෙහි ක්‍රියාත්මක වේ. 

4. පැරිස් නුවර - ප්‍රංශය


හෙන්රි මිලර්, ගී ද මෝපසාන් වැනි ලෝ පතල රචකයන්ගේ පහස ලැබූ ප්‍රංශයේ පැරිස් නුවර ස්වභාව සෞන්දර්යය සහ අලංකාරය අතින්ද ලේඛනය මෙන්ම පොත පත පරිශීලනය කිරීමටද සුදුසු වටපිටවකින් යුතු ස්ථානයකි. එහි පොදු උද්‍යාන වල පවා වයස් භේදයකින් තොරව පොත පත කියවමින් සිටින බාල මහලු පුද්ගලයින් බොහෝ වශයෙන් දැකගත හැකි බව "Digest" සඟරාව පෙන්වා දේ. තවද පැරිස් නුවර ඇති ඇතැම් බොහෝ අවන්හල්(Cafe) හි ප්‍රකට ලේඛකයින් අතීතයේ කෝපි කෝප්පයක් තොල ගාමින් ලේඛනයේ යෙදුන ස්ථාන සංචාරකයන් හට දැකගැනීමට හැකි ලෙස අදත් වෙන් කොට දක්වා තිබීම විශේෂත්වයකි.

5. ටොරොන්ටෝ - කැනඩාව


කැනඩාව යනු ලේඛකයන්ටත් වඩා හොඳ පාඨකයන් සිටිනා රටක් ලෙස ප්‍රචලිතය. හැම විටෙකම නව පොතක් වෙළඳපොළට නිකුත් වූ විගස එම පොත් විකිණී අවසන් වන අතර, පුස්තකාල ආදීය පරිශීලනය අතින්ද අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් සිටින රටකි කැනඩාව. ටොරොන්ටෝ නුවර එහි සාහිත්‍යමය කේන්ද්‍රස්ථානයකි.

6. ලන්ඩන් -බ්‍රිතාන්‍යය


විලියම් සේක්ෂ්පියර්, චාර්ල්ස් ඩිකන්ස් වැනි ප්‍රබුද්ධ ගණයේ ලේඛකයන් සේම පසු කලෙක පැමිණි ජනප්‍රිය දහරාවේ "ආතර් කොනන් ඩොයිල්" වැනි ලේඛකයින් මෙන්ම "අගතා ක්‍රිස්ටි, වර්ජිනියා වුල්ෆ්" වැනි ලේඛිකාවන්ද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් සිය ලේඛන කටයුතු වල නිරත වූ අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය සමග ඒවා ලෝ පුරා ඉංග්‍රීසි සාහිත්‍යය ලෙස ප්‍රචලිත විය. අද පවා ලෝ පුරා සිටිනා සාහිත්‍ය ලෝලීන් දහස් ගණනින් ලන්ඩන් නුවරට ඇදී එන්නේ එම ඉංග්‍රීසි සාහිත්‍යයේ තිඹිරි ගෙය දැකගැනීමේ උවමනාවෙනි. "ෂර්ලොක් හෝම්ස්" විසූ බවට පොත පතේ සඳහන් ලන්ඩනයේ "බේකර් වීදියද " එවන් ප්‍රකට ස්ථානයක් බව "ඩයිජස්ට්" සඟරාව පවසයි.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators