Wednesday, November 12, 2014

නූතන ලෝකයේ ආමිෂ්වරුන්ගේ සරල ජීවිත

නූතන තරඟකාරී ලෝකයේ හැල්මේ දුවන සමාජයක් තුළ ඔබ හා මා ජීවත් වන්නෙමු. මෙම තරඟකාරී සමාජ ක්‍රමය තුළ කොතරම් විඩාපත් වූවත් මෙම ක්‍රමයෙන් පිට පැන යාමට අපට හැකියාවක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදය යනු අති ධාවනකාරී සමාජ රටාවකට උරුමකම් කියන රාජ්‍යයකි. නමුත් එම සමාජය තුළද නූතන තාක්ෂණික මෙවලම් කිසිත් භාවිතයට නොගන්නා අතිශය සරල ලෙස ජීවිත ගත කරන "ආමිෂ්" නම් ජන කණ්ඩායමක් ජීවත් වන බව විශ්වාස කිරීම පවා අපහසුය. 1730 වසරේ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන මෙම ජන කණ්ඩායමේ මූලාරම්භය සිදු වන්නේ යුරෝපයේය. "මෙනොනයිට්" (Mennonite) නම් ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමෙන් බෙදී වෙන් වන ආමිෂ්වරුන්ගේ ජාතියේ නායකයා ලෙස සලකනු ලබන්නේ "ජේකොබ් අම්මාන්" නමැති ආගමික නායකයාය. ප්‍රධාන වශයෙන් "Anabaptist" නම් ආගම අදහන මොවුන් භාවිතා කරනු ලබන භාෂාවල් නම් "පෙන්සිල්වේනියානු ජර්මන්" "ස්විස් ජර්මන්" සහ ඉංග්‍රීසිය. අද වන විට ඇමරිකාවේ "පෙන්සිල්වේනියා" "ඉන්දියානා" "නිව් යෝර්ක්" "ඔහියෝ" යන ජනපද වල සේම කැනඩාව ආසන්න ප්‍රදේශ වලද ආමිෂ් ජනතාව ව්‍යාප්තව සිටී.

මොවුන්ගේ ජීවත් වීමේ රටාව අතිශය වෙනස් රටාවක් ගනී. සෑම විටෙකම සාම්ප්‍රධායික මෙවලම් මත යැපෙන ඔවුන් නූතන සමාජයේ මෙවලම් වන ජංගම දුරකථන, පරිගණක, රුපවාහිනී වැනි දෑ භාවිතාවට ගන්නේ නැත. සාම්ප්‍රධායික ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගන්නා ඔවුන් ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියයි. විශේෂත්වයක් නම් 18 වැනි සියවසට පෙර භාවිතා වූ තාක්ෂණය පමණක් ඔවුන් අදටත් භාවිතාවට ගැනීමයි.තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා ඔවුන් සිය නිවස තුළම මසා නිමකරගැනීම සිදු කරගන්නා අතර හැම විටෙකම තනි පැහැයෙන් යුතු ඇඳුම් අඳින මොවුන් නවීන විලාසිතාවේ ඇඳුම් භාවිතා නොකරයි.

ඔවුන්ගේ පවුල් සංස්ථාව ඉතා ශක්තිමත් එකකි. දික්කසාදය වැනි දෑ එම සමාජය තුළ ඉතා අවම මට්ටමක පවතින අතර පවුලට මුල් තැන දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. එක් පවුලක දරු දැරියන් 6ත් 10ත් අතර ප්‍රමාණයක් සිටින අතර එය ඔවුනගේ ආර්ථිකයට ශක්තියක් කොටගෙන ඇත. අසීමිත ආශාවන් සහ අරමුණු පසුපස හඹා නොයන ආමිෂ්වරුන්ගේ දරුවන් පවා 8 හෝ 9 ශ්‍රේණි වලදී අධ්‍යාපනය අවසන් කරන්නේ ජීවත් වීමට අවැසි මූලික දැනුම ලබා ගැනීමත් සමගිනි. ඔවුන් තරුණ වියට එළඹුන කල සිය වර්ගයෙන් ඔවුනට තෝරා ගැනීමේ නිදහසක් හිමි වන අතර එහිදී ඔවුනට තවදුරටත් ආමිෂ්වරයෙකු ලෙස සිටිනවාද සාමාන්‍ය සමාජය හා එකතු වනවාද යන්න තීරණය කල හැකිය. නමුත් විශේෂත්වය නම් බහුතරයක් තරුණ තරුණියන් නැවතත් සිය ආමිෂ් ජන සමාජය හා එක් වීමයි.

සාමාකාමී ජන කණ්ඩායමක් වන ආමිෂ්වරු කිසි විටෙකත් ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ද වීම අනුමත නොකරයි. සාමුහිකව වැඩ කටයුතු කිරීමත්,එකිනෙකාට උදව් උපකාර කිරීමත් ඔවුන්ගේ ජන වර්ගයේ වන යහපත් පැවතුම්ය.මත්ද්‍රව්‍ය වැනි භාවිතාවන් සිදු නොවන මෙම සමාජය තුළ චාම් දිවිපෙවතට මූලික ස්ථානය ලබා දේ. සරල වීම තුළ ජීවිතයේ සතුට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. එය කොතරම් වටිනා ඇදහීමක්ද යන වග අපගේ සංකීර්ණ ජීවිත හා ඔවුනගේ ජීවිත සැසඳීමේදී පෙනී යයි. එමෙන්ම බටහිරින් පැමිණෙන සියල්ල දෝතින් බදා ගන්නා අපගේ සමාජයට බටහිර ලෝකයේම ජීවත් වන ආමිෂ්වරුන්ගෙන් සරලකම පිළිබඳව ඉගෙනගත හැකි පාඩම් බොහෝය.


                                                        ආමිෂ් තරුණියන්
                                                         ආමිෂ් ගම්මානයක්
                                           

ඔවුන්ගේ ගමන් බිමන් බොහෝමයක් අශ්ව කරත්ත හරහා සිදු වේ 
සාම්ප්‍රධායික ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ 
සාමුහිකත්වය 
පාසල් යන දරුවන් 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators