Friday, November 7, 2014

විඩාබර නොවූ ආදරය - (සත්‍ය කතාවකි)

ඔබ "The Notebook" නම් සිනමා පටය නරඹා ඇත්නම් මෙම කතාව එහි සැබෑ කතාව ලෙස හැඟී යනු ඇත. එම සිනමා පටයට "Dementia" නැතිනම් ඉක්මනින් සියල්ල අමතකව යන මානසික රෝගයෙන් පෙලෙන සිය වයස්ගත බිරිඳට දිනපතා ඔවුනගේ යටගිය ආදර කතාව පවසන වයස්ගත ස්වාමිපුරුෂයෙක් ගේ මතක ආවර්ජනාවක් පාදක වී ඇත. ඇයට සිය ස්වාමිපුරුෂයා සේම සිය කුසින් වැදූ දරුවන් පවා අමතකව ගොස් ඇත. නමුත් ඇයගේ ස්වාමිපුරුෂයා දිනපතා ඇයට අසා සිටීමට නැවත නැවතත් ඔවුනගේම අතීත ආවර්ජනය ඇය වෙනුවෙන් සිදු කරයි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මෙම සිදුවීමද එයට බොහෝ දුරට සමාන ජීවන අත්දැකීමකි.

ජැක් සහ ෆිලීස් එකිනෙකා හමු වන්නේ 1940 වසරේ ඔක්තෝබර් මස 04 වන දින සැන්දෑවේය. ඒ කිසියම් උත්සව අවස්ථාවකි. ඔවුන් එකිනෙකාගේ දෑතේ පැටලී නර්තනයක යෙදේ. එදින පෙරලා නිවසට පැමිණි ජැක් සිය දිනපොතේ ඇය පිළිබඳව මෙසේ සටහනක් තබයි. "කොතරම් සුන්දර සැන්දෑවක්ද? සුරඟනක් වන් තරුණියක සමග නර්තනයේ යෙදීම කොතරම් සතුටක්ද? ඇය නැවත දැකගත හැකිවේද යන්න දැන් මා හට ඇති එකම ගැටලුවයි"

දෛවයේ එක් වීම කෙසේද යත් නැවත වරක් ඔවුනොවුන් අහම්බයෙන් මුණ ගැසේ. පෙර හැඳුනුම්කම දුරදිග ගොස් ඔවුන් ප්‍රේමවන්තයන් බවට පත් වන අතර ප්‍රථම හමුවීමෙන් වසරකුත් මාස 4ක් ඉක්මවූ තැන ඔවුන් විවාහ දිවියට පිවිසේ. ඔවුන් බ්‍රිතාන්‍යයේ "කෙන්ට්" පළාතේ පදිංචි වී වසර 50කටත් වඩා එක්ව ජීවත් වන අතර එතෙක් පැමිණි ජීවන ගමනේ වෙනසක් ඇති වන්නේ "ෆිලීස්" ගේ රෝගී භාවය උග්‍ර අතට හැරීමත් සමගයි. ඇයට ඇයගේ කෙටි කාලීන සහ දීර්ග කාලීන මතකය කෙමෙන් කෙමෙන් අමතකව යන අතර ඇයට නිවසේ වාසය කිරීමට නොසුදුසු තත්වයක් නිර්මාණය වේ.අනතුරුව ඇයව එවන් රෝගීන් රැකබලාගන්නා ස්ථානයක භාරයට පත් කරන අතර ඇය ප්‍රතිකාර පිණිස එතෙක් කල් ජැක් හා එක්ව විසූ නිවස අතහැර පිටත්ව යයි. තමා සමග වසර 50කට අධික කාලයක් එක්ව වාසය කළ සිය ආදරවන්තිය, බිරිඳ මේ ආකාරයෙන් නිවසෙන් පිටවීම ජැක් හට කිසිසේත්ම දරාගත හැකි තත්වයක් නොවීය.

ඔහු දිනපතා ඇය ප්‍රතිකාර ලබනා ස්ථානයට යෑමට පටන් ගනී. එසේ යන සෑම අවස්ථාවකම ඇයගේ මතකය එන්න එන්නම දුර්වල වන බව දකින ජැක් මහත්සේ කම්පාවට පත් වේ. ආදරයෙන් ගෙවුණු අතීත සැමරුම් සියල්ල ඒකපාර්ශවීය තත්වයකට පත් වීම ඔහුට දරා ගැනීම අපහසු වන්නට ඇත. ඇය හා එම මතකය නැවත නැවතත් බෙදා ගැනීමට ඔහුට අවැසි වේ. ඔහුගේ එම අවශ්‍යතාව මුදුන් පමුණුවන්නේ ඔහු සතු වූ පරණ දින පොතයි. ඇය හමු වූ දා සිට ඔවුනගේ ආදරයේ සුන්දරතම කාල පරිච්ජේදයන් එම දින පොතෙහි විය. ඔහු එම පොත නැවත නැවතත් කියවීය. අනතුරුව ඇය හමු වීමට යන සෑම දිනකම එම දින පොත රැගෙන යන ඔහු ඇය වෙනුවෙන් ඇයට ඇසෙන සේ දිනපතා එම අතීතගත සිදුවීම් කතාවක් ලෙස කියවයි. සෑම දිනකම එම කතාව "ෆිලීස්' හට නවමු කතවක් විය. නමුත් ජැක් කිසිදා එයින් වෙහෙසට පත් වූයේ නැත. ඔහුට අවැසි වූයේ ඈ හා කාලය ගත කිරීම පමණි. කල් යත්ම ඔහුගේ මෙම ප්‍රයත්නය හමුවේ "ෆිලීස්" හට කිසියම් සුවයක් ඇති විය. අතීතයේ සිදුවීම් ඇයගේ මතකයට එන්නට වූයෙන් ඇය ඔහුගෙන් සිය අතීතය පිළිබඳව තව තවත් ප්‍රශ්න නගන්නට වූවාය. ඇයගේ සෑම ප්‍රශ්නයකටම නිරවුල් පිළිතුරු දුන් ජැක් ඇයගේ පෙර මතකයන් නැවත ඇය වෙත ගෙන ආවේය. කෙසේ හෝ මේ වන විට විවාහයේ වසර 70 ගත කරන මෙම යුවලගේ ආදරය සිනමා පටයක හෝ ප්‍රබන්දයක ඇති සෞන්දර්යද ඉක්මවා විඳගත හැකිය.


                                           ජැක් සහ ෆිලීස් 
                                                            ඔවුන් විවාහ වූ දා 
                                                   The Note Book හි ජවනිකාවක් 


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators