Sunday, November 16, 2014

පියෙකුගේ ආදරය - I Am Sam


මිනිසුන් ආදරයේදී විවිදාකාර ස්වරූපයන් ගනී. ඒ අතරින් මා පියන් සහ දූ දරුවන් අතර වන ආදරය සහ සහෝදර සහෝදරියන් අතර වන ආදරය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට වඩා වෙනස්ම ස්වරූපයක් ගනී. මවක හා පියෙකු දරුවෙකුට දක්වන ආදරය වටහා ගැනීමට දූ දරුවන්ද යම් දිනෙක මා පිය තනතුරෙහිම හෙබිය යුතු යැයි මතයක් ඇත. මෙම සිනමා පටයද ඒ ආකාර වූ පිය සෙනෙහසක් ගැන කියැවෙන වෙනස්ම ආකාරයක සිනමා නිර්මාණයකි. මෙහි ප්‍රධාන චරිතය වන "සෑම් ඩෝසන්" යනු බුද්ධි මට්ටමෙන් වයස අවුරුදු 7ක පමණ දරුවෙකුගේ බුද්ධි මට්ටමක් සහිත වැඩිහිටියෙකි. කිසියම් කාන්තාවක් දාව ඔහුට දියණියක් උපදින අතර ඔහු ඇයට "ලුසී ඩයමන්ඩ්" ලෙස නම් තබයි. බුද්ධියෙන් හීන "සෑම්" සහ කුඩා දියණිය හැර දමා එම මව පලා යන අතර එතැන් සිට කුඩා දියණිය හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වන්නේ "සෑම්" හටයි. ඉතා අපහසුතා මැද මෙම පියා සිය දියණිය උස් මහත් කිරීමට වෙර දරයි. නමුත් දියණිය පාසල් යන වයසට පැමිණි විට ඔහු හට අනපේක්ෂිත ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදු වේ. දියණිය දිනෙන් දින බුද්ධියෙන් වර්ධනය වූවත් පියාගේ බුද්ධියේ වර්ධනයක් සිදු වන්නේ නැත. තම පියා තම සම වයසේ අනෙකුත් ළමුන්ගේ පියවරුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් බව "ලුසී" හට හැඟී යනවා. නමුත් ඇය තම පියාට අසීමිත ලෙස ආදරය කරයි. ඔහුව අවබෝද කර ගැනීමට උත්සාහ කරයි. මෙසේ කාලය ගත වන අතරතුර නීතිමය ගැටළුවක් හමුවේ ලුසී හා ඇයගේ පියාව එකිනෙකාගෙන් වෙන් කරන්නේ අඩු බුද්ධියකින් යුතු පියෙකු හට ලුසී වැනි වර්ධනය වන බුද්ධියක් සහිත දරුවෙකු බලා කියා ගැනීමට නොහැකිය යන නීතිමය රාමුව තුළ හිඳිමිනි. මෙය ඔවුන් දෙදෙනාටම දරාගත නොහැකි තත්වයක් නිර්මාණය කරන්නේ ඔවුන් දෙදෙනාට ඔවුනොවුන් නොදැක සිටීමටවත් නොහැකි නිසයි. යළිත් දියණිය තමාගේ ලඟට ගැනීමේ අරමුණින් මෙම අඩු බුද්ධි මට්ටමකින් යුතු පියා නීතියේ පිහිට ලබා ගැනීමට සැරසේ. ඔහු ඉතා අපහසු ප්‍රයත්නයකට පසුව "රීටා හැරිසන්" නම් නීතිවේදිනියගේ පිහිට ලබා ගනී. ඇය තම පෞද්ගලික ජීවිතයේ බොහෝ ගැටුම් ඇති තැනැත්තියකි. මෙම "සෑම්" නම් මන්ද මානසික පියා හා කටයුතු කිරීමේදී ඇය ඔහුගේ ජීවිතයෙන් බොහෝ කරුණු කාරණා ඉගෙන ගනී. එය ඇයගේ ජීවිතය පිළිබඳව දෙවරක් සිතීමට ඇයව පොළඹවයි. මෙම සංවේදී සිනමා නිර්මාණය ඇසට කඳුලක් නැගෙන සේ නිර්මාණය කළ විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයකි. මන්ද මානසික පියාගේ චරිතයට පණ පොවන "Sean Penn" ගේ රංගනයද අති විශිෂ්ට මට්ටමක පවතී. නීතියේ තර්ක විතර්ක හමුවේ අසරණ වන සෑම් නම් බුද්ධි හීන පියෙකුගේ භාවාත්මක හැඟීම් ඉතා සංවේදී ලෙස මතු කරන ඔහුගේ ප්‍රතිභාව උදෙසා හොඳම රංගනය වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානයටද ඔහු නිර්දේශ විය. මෙම සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ "Jessie Nelson" ය. ඔබත් නරඹන්න "I Am Sam".





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators