Thursday, October 9, 2014

අරමුණු ජය ගැනීමට නම්.....

ඇය ලෝක වාර්තා ගණනාවකට උරුමකම් කී විශිෂ්ට ගණයේ පිහිනුම් ශුරියක වූවාය. නමින් "ෆ්ලොරන්ස් චැඩ්වික්" නම් වූ ඇය තමාගේ අරමුණු කරා ගමන් කළේ අනේකවිද බාධක සහ කැපකිරීම් ඔස්සේය. වයස 32 වන විට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර වූ ඉංග්‍රීසි ඕඩය දෙවරක් තරණය කොට සිටි ඇය 1952 වසරේදී ඇමරිකාවේ "කැටලීනා" ඕඩය තරණය කිරීමට සැරසෙන්නේ එය තරණය කරනා ලොව පළමු කාන්තාව වීමේ අරමුණ පෙරදැරිවයි. මුළු මහත් ලෝකයකම අවධානය ඇය කෙරේ විය. 1952 වසරේ ජූලි 4 වැනි දින ඇය සිය අරමුණ කරා යෑමේ අපේක්ෂාවෙන් මුහුදට බසින්නේ "කැටලීනා" ඕඩයේ අභියෝගය ඒකාන්ත වශයෙන්ම ජය ගැනීමටයි. නමුත් එදින ඇය අපේක්ෂා කළ තරම් සුබදායි දිනයක් වූයේ නැත. මීදුම අධික දිනයක් වූ එදින ඇයට සිය මාවත සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් විය. දැඩි සීතලත්, මිනී මෝරුන්ගෙන් පැමිණිය හැකි උපද්‍රවත් පිළිබඳ වූ බිය ඇයගේ ශක්තිය හීන කරන්නට විය. කිලෝමීටර 26ක් වූ එම දුර ගෙවමින් සිටි ඇයට ගොඩබිමක සේයාවක් හෝ පෙනෙන්නට නොවීය. ජීවිතය පිළිබඳව වූ ආශාවත්,අධික විඩාවත් ඇයගේ සිතේ ශක්තිය සිඳ දැමීය. අවසානයේ ඇය තරගය අත් හැර ආරක්ෂිත බෝට්‌ටු වලට ගොඩවන්නේ අපේක්ෂා භංගත්වයෙනි. නමුත් අවාසනාවකි. ඇය ඒ වන විටත් පිහිනමින් සිටියේ ගොඩබිමට සැතපුම් භාගයක් වැනි කෙටි දුරකිනි. අකාරුණික කාලගුණය නොවන්නට ඇයට එම කෙටි දුර ගෙවා දැමිය හැකිව තිබුණි. එයින් ඇය කලකිරීමට පත් වූ අතර තරගය අත් හැර දැමීම පිළිබඳව ඇය මහත්සේ දුක් විය. "ෆ්ලොරන්ස් චැඩ්වික්" කියා සිටියේ තමා තරගය අත් හැරියේ ඉලක්කයක් පේනතෙක් මානයකවත් නොතිබූ නිසා බවයි. "නමුත් මා දන්නවා එය නිදහසට කරුණක් නොවේ. මා හට දිගටම තරගයේ රැඳී සිටීමට තිබුනා." යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

එක් වරක අසාර්ථක වූ නමුදු ඇය සිය අරමුණ අත් හැරියේ නැත. යළිත් දෙමසකට ඉක්ම යෑමෙන් පසුව ඇය නැවතත් "කැටලීනා" ඕඩය තරණය කිරීමේ අරමුණින් මුහුදට බසී. ඒ අවස්ථාවද පෙර අවස්ථාව තරම්ම අපහසුතා ගෙන එන ලදී. අකාරුණික කාලගුණය මීදුම සහ චණ්ඩ රළ පෙල හමුවේ ඇය නොනැවතුනි. සිය ඒකායන අපේක්ෂාව මුදුන් පමුණුවාගැනීමේ තිර අදිටනින් ඇය සටන් වැදුනාය. අවසානයේ ඇය තරගය ජය ගත්තාය. පෙර අවස්ථාවට වඩා දස ගුණයකින් සාර්ථක වූ ඇය ඊට පෙර පිරිමි පිහිනුම් ශූරයන් සතු වූ ලෝක වාර්තාවද පැය දෙකකින් ඉක්මවීමට සමත් විය.

කිසියම් අරමුණක් වෙනුවෙන් වූ නිශ්චිත මාර්ගයක ගමන් ගන්නා ඕනෑම අයෙකු හට ඇයගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. විශේෂයෙන්ම එක් වරක අසාර්ථකබව තුළ සියල්ල අත් හැරීම වෙනුවට, ඕනෑම ආකාරයක භාහිර අභියෝගයක් හමුවේ සිය අරමුණ කරා යෑමේ විශිෂ්ට ගුණාංගය ඇය සතු වන වටිනාම පෞර්ෂ ගුණාංගය ලෙස හඳුනාගත හැක.





                                              ඇය තරඟයක් අවසන් කළ අවස්ථාවක්

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators