Thursday, October 23, 2014

කිසිදා හමු නොවන "ඇය" සෙවීම - Her

තාක්ෂණයෙන් පිරුණු ලොවක් තුළ හුදෙකලා වූ පුද්ගල ජීවිතයක කතාන්දරය "Her" සිනමා පටය තුළ දිග හැරේ. ඔහු වෘතියෙන් ලේඛකයෙකි. නමින් "තියඩෝර්" නම් වන ඔහු අසාර්ථක විවාහ ජීවිතයකට පසුව හුදෙකලා කාල පරිච්ජේදයක් ගත කරමින් සිටී. අතිශය හුදෙකලවත්, පරණ විවාහ දිවියේ මතකයත් සමග ගෙවී යන ඔහුගේ ජීවිතයට වෙනසක් ගෙන එන්නේ "OS1" නම් ස්වයංක්‍රිය මෙහෙයුම් පද්ධතියකි. එම මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔහු කාන්තා කටහඬක් සමගින් සංවාදයේ යෙදෙන්නේ තම හුදෙකලා ජීවිතයට යම් සහනයක් ලබා ගැනීමටයි. එම කෘතීම බුද්ධිය සහිත ස්වයංක්‍රිය ස්ත්‍රී කටහඬ මෙම පිරිමි සිත තදින් ග්‍රහණය කර ගනී. නමින් "සමන්තා" නම් වන ඇය අතිශය තියුණු කෘතීම බුද්ධියකි. ඔහුගේ සෑම හැසිරීමක් තුළම හැඟීම් හඳුනාගැනීමේ හැකියාවක් ඇය සතුය. ක්‍රම ක්‍රමයෙන් ඇති වන මෙකී සංවාදය ආදරයක් බවට පරිවර්තනය වන්නේ නොදැනුවත්වමයි. ආදරයක පැවැත්ම තීරණය වන්නේ භෞතිකත්වය මතද? නැතහොත් අධ්‍යාත්මය මතද? එය තීරණය කිරීම අසීරුය. භෞතික ශරීරයක් සහිත මිනිසෙකුගේ සහ භෞතික ශරීරයක් නොමැති හඬක් පමණක් ඇති මනෝමය ගැහැනියකගේ ආදරය කවරාකාර හැඩයක් ගනු ඇත්ද? නරඹන්න "Her".

අවසන් වශයෙන් පැවසීමට ඇති එක් දෙයකි. තාක්ෂණයෙන් සපිරි ලොවක් තුළ ඔබගේත්,මගේත් සැබෑ මානව බැඳීම් දුරස් වී ඇත. ආදරය,සෙනෙහස,අවංකත්වය පලා ගොස් ඇත. අප වෙනුවෙන්ම නිර්මාණය කළ ජීවිත අප සොයන නමුත් වර්තමාන ලෝකය තුළ හෝ අනාගත ලෝකය තුළ කිසි දිනෙක ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ මිනිසුන් හෝ ගැහැනුන් සොයාගත නොහැකි වනු ඇත. අප සියල්ලෝම තනි තනි හුදෙකලා ජීවිත ගොඩක් ලෙස පමණක් ජීවත්ව මියැදෙනු ඇත.




                               පූර්ව ප්‍රචාරක පටය 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators