Saturday, October 25, 2014

The Words

ඔහු තරුණ ලේඛකයෙක්. සාර්ථක ලේඛකයෙකු වීමේ සිහිනයක පසු වන ඔහු දිගින් දිගටම ලේඛන කලාවේ යෙදෙන නමුත් තම කාර්යය තුළ සාර්ථක වීමේ අපහසුවකින් ඔහු පසු වනවා. මෙසේ ජීවිතය ගලා යන අතරතුර ඔහු විවාහ දිවියට එළඹේන අතර ඔවුන් සිය මධුසමය ගත කිරීම සඳහා ප්‍රංශය තෝරා ගනී . ඔවුන් මධුසමය ගත කරන අතරතුර කාලයේ සාප්පු සවාරියක යෙදෙමින් සිටින අතර එහිදී පරණ බඩු භාණ්ඩ වෙළඳසැලකදී අහම්බෙන් ඇස ගැටෙනා හම් බෑගයකට මෙම තරුණ ලේඛකයාගේ සිත යනවා. ඔහුගේ බිරිඳ තෑග්ගක් ලෙසින් මෙය ඔහු වෙනුවෙන් මිළදී ගනු ලබන අතර පසුව ඔවුන් නැවත පෙරලා සිය රටට පැමිණේ. මෙසේ දින ගත විය. දිනක් Rory නම් මෙම තරුණ ලේඛකයා ඔවුන් ප්‍රංශයේදී මිළට ගත් පරණ හම් බෑගය පරික්ෂා කිරීමේදී එහි වූ පරණ ලියැකියවිලි මිටියක් ඔහුට හමු වේ. එය කියවා අවසන් වූ පසුව එය ලියා අවසන් කළ නවකතාවක මුල් පිටපතක් බව ඔහුට වැටහෙනවා. එය ඉතා විශිෂ්ට මට්ටමෙන් ලියා අවසන් කර ඇති නවකතාවක් නිසාවෙන් එහි වූ කතා සන්දර්භය ඔහු තුළ ඇති කරන්නේ සියුම් කම්පනයක්. දෙවන ලෝක යුධ සමයේ ප්‍රංශයේ සේවයට ගිය හමුදා නිලධාරියෙකුගේ පෞද්ගලික අත්දැකීමක් එයට පාදක වී තිබුණි. සාර්ථක ලේඛකයෙකු වීමේ සිහිනයෙන් පෙළෙන Rory මෙය තමාගේ නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ. ඔහු සිය බිරිඳට හෝ මේ පිළිබඳව නොපවසා එය නැවත පිටපත් කරනු ලබයි. අවසානයේ එය නවකතාවක් ලෙස මුද්‍රණය වී ප්‍රකාශයට පත් වේ.

ඔහු එක් රැයකින් ජනප්‍රිය තලයේ ලේඛකයෙකු බවට පත් වේ. දස දෙසින් සියලු ගරු බුහුමන්,සම්මාන සහ ප්‍රතිචාර සමග ජීවිතය ගෙවෙන අතර දිනක් ඔහුට අමුත්තෙකු මුණ ගැසේ. ඔහු මහල්ලෙක් වන අතර මොහු Rory සමග සිය ජීවිතයේ අතීතගත කතාන්න්දරයක් පවසා සිටිනවා. එකී කතාන්දරය අවසානයේ Rory හට අවබෝද වනවා තමා මේ සවන් දෙන්නේ තමා විසින් සොරකම් කොට පළ කළ කතාවේ සැබෑ අයිතිකරුවාට බව. එතැන් සිට Rory හට සිය හෘද සාක්ෂිය සමග සටන් වැදීමට සිදු වනවා. පෙරකී මහළු මිනිසා තම යටගිය අතීතය, තම යටගිය ආදරය, තමාගේ පවුල සහ තමාට අහිමි වූ ජීවිතයක් සොයමින් සිටී. ඔහුගේ සියලු කතාන්දරය එකී පිටපතේ සඳහන්ය. තමාගේ අහිමි වූ අතීතය සොයමින් සිටින මහළු මිනිසාට සාධාරණය ඉටු කිරීමට Rory හට හැකි වේද? සිය වරදකාරී හෘද සාක්ෂියෙන් ඔහුට මිදිය හැකි වේද? අනෙකෙකුගේ අතීතයක්, අනෙකෙකුගේ කඳුලක් ,සුසුමක් තුළ ගොඩනැගුනු තවෙකෙකුගේ අනාගතය......නරඹන්න "The Words".




                              පූර්ව ප්‍රචාරක පටය 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators