Saturday, September 27, 2014

සැන්දෑව සහ ගීතය

දවසේ අවසන් භාගය නැතිනම් හිරු එළිය බැස යන්නට ඔන්න මෙන්න කියා ඇති කාල පරාසයට අපි සැන්දෑව කියා පවසනවා. දවසේ හෙම්බත් උනු මිනිස්සු වගේම ඇතැම් සතා සිවුපාවා පවා සැන්දෑව ලබත්ම තම කූඩු කරා පැමිණෙන්නේ විවේක සුවය ලැබීමේ උවමනාවෙන්මයි. හැන්දෑ යාමයේ අහස දෙස නිස්කලංකයේ බලා සිටියහොත් රෑන් ගණනින් කුරුලු කිරිලියන් දවසේ කර්තව්‍යයන් නිම කොට එක රෑනට සිය කැදලි කරා පියඹා යන අයුරු අහස පුරා සිතුවම් වන අයුරු විඳගත හැකිය. හැන්දෑවක සුන්දරත්වය දකින පාර්ශව අතර ජායාරූප ශිල්පියන්, ගීත රචකයන්, පද්‍ය රචකයන්, සිනමා කරුවන් මෙකී සුන්දරත්වය නිර්මාණයකට ගෙන එන්නට වෙර දරනවා. ලාංකේය ගීත සාහිත්‍ය තුළත් සැන්දෑව ඉතා විචිත්‍රවත් ලෙස නිර්මාණගත කළ කලා කරුවන් අපමණයි. බොහෝ විට ආදරය, හුදෙකලාව වැනි සංකල්ප සමග සැන්දෑව බද්ධ කිරීම තුළ එම නිර්මාණ වඩ වඩාත් ඔපවත් වී ඇති බව දැකගත හැකිය. මා අසා ඇති සිංහල සුභාවිත ගීත ගොන්නේ "සැන්දෑව" යන පදය ගීත රචකයන් කොපමණ වාර ගණනක් යොදා ඇත්දැයි සිතා ගැනීමත් අපහසුය. ඒ අතර සුනිල් සරත් පෙරේරා යන විශිෂ්ට රචකයාගේ ගීත රචනා තුළ "සැන්දෑව" යන්නට වැඩි ඉඩක් ඇති බව ඔහුගේ ගීත රචනා පරිශීලනයේදී පැහැදිලි ලෙස දැකගත හැකියි. දයාරත්න රණතුංගයන් ගයන "සැන්දෑ අහසේ ඉරට මුවාවී" ගීතය සේම සනත් නන්දරිසි ගායනා කරන "සැන්දෑ කළුවර ගලා හැලෙන විට" වැනි ගීත මෙරට සුභාවිත ගීත සාහිත්‍ය හැඩ කළ නිර්මාණ ලෙස හඳුනාගත හැක. සුනිල් සරත් පෙරේරා මහතා රචනා කළ සනත් නන්දරිසි මහතා විසින් ගායනා කොට සංගීතවත් කරන ලද පහත ගීතය ජීවිතයේ විඩාබර වූ මිනිසෙකු තම කුටුම්බය කරා ගෙන එන ප්‍රේමනීය ප්‍රේරණය වන ආදරණිය පවුල ගැන කියවෙන්නකි.

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ


1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators