Tuesday, September 30, 2014

සරුංගලේ මා


                                        සරුංගලේ මා සරුංගලේ
පියඹා යනවා දෙරණ මතින්
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ

කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇත
නිදහස වටකොට පවුරු නැගී ඇත
එබැවින් පියඹා යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ

දෑ කුලගොත් මායිම් කිසිවක් නැති
නිදහස් නිවහල් සුවිසල් ගගනත
ඈතට ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ

මැණික් ජයසේකර මහත්මියගේ සුමියුරු කටහඬින් ගැයෙන මෙම මනෝරම්‍ය ගීයට සංගීතය සපයන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. සීමාබාධක මත ගෙවෙන පුද්ගල ජීවිතයක ෆැන්ටසියක් මෙම ගීතය තුළ කියැවෙන බව හඳුනාගත හැකිය. සැබෑ ලෝකයේ විඳිය නොහැකි නිදහසක් සරුංගලය මත පුද්ගලාරුඪ කරන රචකයා යථාර්තයෙන් මදක් ඔබ්බට පියඹා යයි. පොලොව මත ලබා ගත නොහැකි නිදහස අහස් කුස තුළ සොයන නමුත් සීමාවකින් තොර වූ නිදහසකට අහසද උචිත නැති බව සරුංගලය නොදන්නවා විය හැක....

ආකාසය මත නිදහසේ පාවෙන සරුංගලය... රිසිසේ පා විය. ඒ අතටත් මේ අතටත් සුළඟ සමග පා වූ සරුංගලය සොයනුයේ නිදහසද? වැට කොටු බැමි මතින් පිරුණු පොලෝ තලයෙන් මිදුන කල දැනෙන නිදහසේ සුව සරුංගලය විඳිමින් සිටී. පාට වේල්පටින් ඔපවත් වූ සරුංගලය ආකාසයේ සැරි සරණ තරුණ ලඳකදැයි විටෙක සිතේ. සුළං දහරා මත ඇය රිසිසේ නිදහස් සුව විඳියි. වැහි අඳුරද නොතකා ඇය ගගන මත පා වෙන්නේ වැහි අඳුරට අභියෝග කරන ලෙසටයි. තව මොහොතකින් වැහි බිඳු එකින් එක පතිත වනු ඇත...,පාට වේල් පටද තෙමී යනු ඇත...,ඇය සෙවූ නිදහස හිස් අහස මත දියව යනු ඇත...

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators