Monday, September 8, 2014

කිවිඳියක වූ රූමතිය......

චන්ද සූරියා වැනි එළඳගෙ      උවන 
ඉන්ද නීල දෙක වැනි ළමැද       තන 
අන්දකාරයට ඇවිලූ පහන        මෙන
කින්ද තන් යහන් නිදියන්නේ නෝන 

මේ කවිය ඇතැම් විට ඔබට කියවා හුරු බවක් දැනිය හැකියි. මෙය කිවිඳියක අරබයා වෙනත් කවියෙකු ලියුවකි. ඒ අන් කවරෙකුවත් උදෙසා නොව ගජමන් නෝනා වෙනුවෙන් ඇලපාත මුදලි විසින් ලියූවකි. රූපයෙන් අගතැන්පත් වූ ඇය වයස 22දී ගාර්දියෙල් අල්විස් සමග විවාහ වී වසර දෙකක් ඉක්ම ගිය තැන සැමියා මියයයි. සැමියා මිය ගිය තැන දරුවෙකුද සමග තනි වූ කනවැද්දුම් ගැහැනියක ලෙස කල් ගෙවූ නමුත් ඇය රූමත් තරුණ කාන්තාවක් විය. ඇයගේ කවීත්වයට සේම රූපයටද පෙම් කළ ඇලපාත මුදලි ඉහත කවිය ඇය අරබයා පවසන්නේ ඈ කෙරෙහි වූ ලෝබ සිතකින් නොවේ යැයි කාට නම් පැවසිය හැකිද? කලක් "ඇලපාත ධම්මරතන" නමින් පැවිදිව හිඳි ඔහු පසුව පැවිදි බව අත් හරින්නේද ගජමන් නෝනා නිසා යැයි මතයක් පවතී. ගජමන් නෝනා දෙවන වර වෙනත් අයෙකු හා විවාහ වුවද ඇලපාත මුදලි සමගින් විවාහයක් දක්වා දික්වූ බැඳියාවක් තබා නොගත්තේ කුමක් හෙයින්ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ඔවුන් දෙපළගේ ප්‍රේමය කවිය තුළින්ම මතු වූවකි. ගජමන් නෝනාද මෙම ශෘංගාරය මුසු වූ කවි සංකල්පනාවන්ට ඒ ආකාර වූ කවියෙන්ම පිළිතුරු දෙන ලදී.

බැන්ද මගේ හිමි පරලොව ගිය  බැවින
නින්ද මෙමට පුරුදුය තනියම     යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද තමුසේට විමසන්න        කාරණ

එයට පිළිතුරු ලෙස ඇලපාත මුදලි මෙසේ පවසා ඇත...

මුනි පුතුන් ඇසුරු සිප් සත දත්   රුවැතී
ගජ නමින් පතළ අඟනක් ළඟම    ඇතී
සැම කතුන්ගේම සිරිතක් වූ       පැවැතී
හොර හිමින් ගැනුම අත නෑරම    කරතී

කවියට දෙවැනි නොවන ගජමන් නෝනා පිළිතුරු ලෙස මෙසේ පවසයි ....

සායේ වැදිලා පත් මෙපුර  කිවියරු
මීයේ වදය මෙන් රස කොට කියති බොරු
ලීයේ ඇදය හරිතත් හූයලා අගුරු
වෑයේ කුදය බැලුවම ඊටත් නැඹුරූ

මේ ආකාරයට බොහෝ කාල වකවානුවක් ඔවුන් දෙපල විසින් කවිය සමගින් සන්නිවේදනයේ යෙදුන බව සාහිත්‍ය ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ හෝ තවත් බොහෝ පිරිස් කවියෙන් විවිද අනිසි යෝජනාද ඇය වෙත එවූ බවත් ඒවාට ඇය විසින් දැඩි පිළිතුරු කවියෙන්ම ලබා දී ඇති බවත් ඇයගේ කාව්‍ය විමර්ශනයේදී පැහැදිලි වේ.
                                                      ගජමන් නෝනාගේ පිළිරුව 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators