Tuesday, August 12, 2014

ගීයක අරුත - සඳකඩ පහනක පෙම් පුවත

ගීයක් සමාජගත වූ විට එයට විවිදකාර අර්ථකථනයන් සමාජය විසින් දෙනු ලබයි. නිර්මාණයකට අර්ථකථනයන් සැපයීමට යමෙකුට ඇති අයිතියට අප ගරු කළ යුතුවාක් සේම අර්ථ සපයන්නාද එහි මුල් රචකයාගේ මනෝ භාවය සහ එයට මුල් වූ සිදුවීම පිළිබඳව අවබෝදයකින් මෙන්ම එම අර්ථජනනයටද ගරු කිරීමක්ද තිබිය යුතු බව මාගේ පිළිගැනීමයි. සුනිල් එදිරිසිංහයන් ගයන "සඳකඩ පහනකක්" නම් මනෝරම්‍ය ගීතයට ඇතැම්හු සපයා තිබූ අර්ථකතනයන් දුටු කළ මා හට ඇති වූයේ සංවේගයකි. face book, you tube තුළ මා එම අර්ථකතනයන් දුටු අතර ඉරිදා ජාතික පුවත් පතකද එයම පලවී තිබුණි. එයට අනුව මෙම ගීයෙන් පවසන්නේ වෛශ්‍යාවකගේ දියණියක පිළිබඳව වූ පුවතකි. එම වෛශ්‍යාවගේ සමාජ භාවය සමග මිලිනව යන දියණියක ගැන මෙහි සඳහන් වන බව ඊට අර්ථකථනය සපයන්නන් දැඩිව කියා සිටී. මෙය හිතළුවකි.අතිශය සාවද්‍ය ප්‍රකාශයකි. මෙම අර්ථ සපයන්නන් හට මෙම ගීතයට පදනම් වූ සිදුවීම පිළිබඳව හෝ නිවැරදි අවබෝදයක් ඇතැයි මට නොහැගේ.
පසුගිය වසරේ අවසානයේ පැවැත්වූ සුනිල් එදිරිසිංහයන්ගේ "සඳකඩ පහන ගේය සිත්තම" නම් එතුමන්ගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වූ මා හිතවතෙකු වන ප්‍රවීණ ගණිතාචාර්ය " කපිල ගුණසිංහ" මහතා මට එහි වූ සමරු කලාපය රැගෙනවිත් දුන්නේය. එහි මීට අදාල වූ සිදුවීම ඉතා පැහැදිලි ලෙස දක්වා තිබුණි. මෙම ගීතය රචනා වන්නේ 1973 වසරේ තිරගත වූ සිනමා පටයක් වූ "මාතර ආච්චි" නම් සිනමා නිර්මාණයටයි. එම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සුනිල් එදිරිසිංහයන්ගේම "පොඩි අයියා" වන ප්‍රවීණ නළු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. එය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. මෙම ගීයට පද වැල් බඳින්නේ "වොලී නානායක්කාරයන්" විසින් වන අතර එය ඔහුගේ පළමු ගීත රචනයයි. තවද වික්ටර් රත්නායකයන්ගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වන්නේද මෙයයි. එබැවින් මෙම නිර්මාණය සිව් කුළුඳුල් නිර්මාණයක් ලෙසද හඳුන්වා දෙයි. මෙම සිනමාපටයට මුල් වී ඇත්තේ පෙම් පුවතකි. ආදරයෙන් එකට බැඳෙන යුවලක් වන අතර තරුණයා හට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස් ගත වීමට සිදු වේ. තරුණියගේ පාර්ශවයෙන් ඇයට වෙනෙකෙකු හා විවාහ වීමට බල කෙරේ. දැඩි පීඩනය හමුවේ තරුණිය විවාහ වන අතර අධ්‍යාපන කටයුතු අවසන් කොට මෙරටට පැමිණෙන තරුණයා සිය පෙම්වතිය සොයයි. ඇය විවාහ වී ඇති බව අසනා ඔහු තුළ නිර්මාණය වන විප්‍රයෝග දුක්ඛය ප්‍රකාශිත වන්නේ " සඳකඩ පහනක්" ගීතය ඔස්සේය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ "ස්වර්ණා මල්ලවාරච්චි" සමගින් "සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය". ඒ අනුව මෙම ගීතය ප්‍රේම විප්‍රයෝගය පිළිබඳව ප්‍රකාශිත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථ පුර්ණ විරහ ගීතයක් මිස අනෙකක් අරමුණු කල ගීයක් නොවේ. යමකට අර්ථ සැපයීමේදී එහි වූ පද වලට අනේකවිද අර්ථ සපයමින් පුහු අර්ථ ගොඩනගනවාට වඩා ඊට බලපානු ලැබූ මූලික හේතූන් සහ මුල් නිර්මාණ සොයා බලන්නේනම් මැනවි.

                                   "මාතර ආච්චි" චිත්‍රපටය සඳහා සඳකඩපහනක් ගීතය පටිගත කල අවස්ථාව.

                                    සරසවි චිත්‍රාගාරය,1970.

                                    සතිස්චන්ද්‍ර එදිරිසිංහ,සුනිල් එදිරිසිංහ සහ වික්ටර් රත්නායකයන් මෙහි වේ


             






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators