මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් පර්යේෂණ ගණනාවකට පසු බිහිකරන "මනමේ" යනු මෙරට නාට්‍ය කලාව තුළ නොමැකෙන සටහනකි,කේන්ද්‍රීය ලක්ෂයකි. 1956 නොවැම්බර් මස 03 වැනිදා කොළඔ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී මනමේ නාට්‍ය ප්‍රථම වරට වේදිකා ගත කරන ලද්දේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය මගිනි. දේශීය නාට්‍ය කලාවක් මෙරට තුළ බිහි කිරීමේ දැඩි අවශ්‍යතාව මත අනේකවිද දේශීය සහ විදේශීය මුලාශ්‍ර ඇසුරින් නිමැවෙන මෙම මනමේ කෘතිය පරම්පරා ගණනාවක් රසික හදවත් සෞන්දර්යෙන් පිරවීය. මනමේ නාට්‍යයේ මූලාශ්‍රය මනමේ කතාව වශයෙන් පන්සීය පනස් ජාතක පොතෙහි එන "චුල්ලධනුග්ගහ"ජාතකයයි. ජාතක පොතෙහි ස්ත්‍රීත්වය යන්න අවතක්සේරු කොට තැබීම පසෙකලා සරච්චන්ද්‍රයන් තම නිර්මාණය තුළ ස්ත්‍රීත්වයේ වූ නිසග ස්වභාවයන් අනුකම්පා සහගත දෘෂ්ටියකින් ඉදිරිපත් කිරීම මෙහි අන්තර්ගතයේ වන විශේෂත්වයකි.
අද දින "මනමේ" නාට්‍යට මෙරට සුවහසක් රසිකයන්ගේ නොමඳ ප්‍රශංසාව හිමි වන නමුත් සරච්චන්ද්‍රයන් එදා මනමේ බිහි කරන සමයේ සිංහල නාට්‍ය කලාවට මෙරට වේදිකාව තුළ තිබූනේ අඩු සැලකිල්ලකි. ඊට හොඳම නිදසුන සරච්චන්ද්‍රයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන " පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියේ ඇතුලත් කරයි. ඒ අනුව "මනමේ" වේදිකාගත වූ මුල් දිනයක එතුමන් ලැබූ අත්දැකීමක් මෙහි වේ.
“දෙවෙනි රාත්‍රියෙහි, නැතහොත් තුන්වෙනි රාත්‍රියෙහි ‘මනමේ’ රඟ දක්වන අතර, මම බරාඳයට විත් වාඩිවී හුන්නෙමි. රැඟුම් පටන්ගෙන පැය බාගයක් පමණ ගතවන්ට ඇත. මැදි වියෙහි ස්ත්‍රියක් රඟහලට පැමිණියාය. ඇගේ ඇඳුම් පැලඳුම් වලිනුත්, සැරසීමෙනුත් ඈ කොළඹ හතේ කාන්තාවක් විය යුතුයැයි මම සිතුවෙමි. ඈ කිසිවක් දැන ගනු අටියෙන් මෙන්, බරාඳයෙහි ඔබ මොබ ඇවිද්ද බැවින්, ඈ නාට්‍ය බලන්ට ආවා වන්නට ඇතැයි මම සිතුවෙමි. ශාලාව තුළ ඉඩ තිබුණු බැවින්, මම ඇයට ටිකට් නැතිව හෝ ඇතුළ් කරන්ට අදහස් කළෙමි.
“මහත්මියට නාට්‍ය බලන්ට ඕනැද? එහෙනම් යන්න ඇතුළත” මම කීවෙමි.
“මොකක් ද මේ පෙන්නන්නෙ?” යි ඈ ඇසුවාය.
“මනමේ” නාට්‍යය
“මොකක්ද ඒ? සිංහල නාට්‍යයක් ද?”
“ඔව් සිංහල නාට්‍යයක්”
“කීයට ද ඉවර වෙන්නෙ?”
“අට වෙනකොට ඉවරයි”
“අටට ඉවරයි? වෙන්න බෑ” යි ඈ කීවාය.
මම සිනාසුනෙමි. නාට්‍යය ඉවර වෙන වෙලාව මම දන්නෙ නැත්නම්, කවුද දන්නෙ? යි මම සිතුවෙමි.
“මම හොඳටම දන්නව මේ නාට්‍යය අටට ඉවරයි” කාන්තාව අවඥා සහගත බැල්මකින් මා දෙස බැලුවාය.
“සිංහල නාට්‍යයක් ඔච්චර ඉක්මනට ඉවර වෙන්නෙ කොහොම ද?” කිව යුත්තේ කුමක්දැයි මම නොදත්තෙමි.
“ඉතින් කලින් යන්න ඕන නං යන්න බැරියැ” යි මම කීවෙමි.
“කැමතිනං නාට්‍යය ගිහිල්ල බලන්න, ටිකට් ඕන නැහැ.”
“චිහ් මං යන්නෙ නැහැ සිංහල නාට්‍ය බලන්න. මං මේ ඇහුවෙ මගේ වැඩකාරී එවන්න. ඒකිට මේවයෙ ඇවිල්ල දහය දොළහ වෙනකල් ඉන්න දෙන්න පුළුවන් යැ” මෙසේ කියමින් කාන්තාව යන්ට ගියාය”
( පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙන් උපුටා ගතිමි)
එදා සමාජයේ ඇතැමුන් මනමේ දුටු අයුරු මෙය වූවද අද "මනමේ" යනු මෙරට නාට්‍ය කලාව තුළ මුල් බැසගත් පාරම්පරික උරුමයක් බඳු වූ නිර්මාණ දායාදයකි.
Sunday, August 24, 2014
Subscribe to:
Post Comments (Atom)
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතුරින් මම කැමතිම නාට්‍යයක්. මිනිසත්කම වියැකී යන සමයක සරච්චන්ද්‍රයන්, වික්‍රමසිංහයන්, නවගත්තේගමයන්, ජයතිලකයන් වැනි උත්කෘශ්ට අග්‍රගණ්‍ය නිර්මාණ කරුවන්ගේ රසවත් නිර්මාණ හා ජිවිතයේ අප්‍රසිද්ධ රසවත්,ආදර්ශමත් තොරතුරු වැඩි වශයෙන් මෙම බ්ලොගයේ පල කරන මෙන් ඉල්ලා සිටිමි.
ReplyDelete- චතුරි -