Thursday, August 14, 2014

දුටුවන් වසඟයට ගත් සුරූපිණිය "මාතාහාරී"

    නෙදර්ලන්තයේ "Leeuwarden" නම් ප්‍රදේශයේ 1876 වසරේ අගෝස්තු මස 7 වැනි දින මෙම සුරුපිණියගේ උපත සිදු වේ. ඇයගේ මුල් නම වූයේ "මාගරිටා සේලේ" ය. ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණියක ලෙස හැදී වැඩෙන ඇයගේ ජීවිතයේ අභාග්‍යසම්පන්න කාලය උදා වන්නේ ඇයගේ පියාගේ ව්‍යාපාර කඩා වැටී බංකොලොත් වූ පසුවයි. ඇයගේ දෙමාපියන් වෙන් වන අතර පියා විසින් වෙනත් විවාහයක් කර ගැනීමෙන් පසුව "මාගරීටා" ඇයගේ භාරකාර පියාගේ සෙවනේ හැදී වැඩෙයි. කුඩා කලදීම සිදු වන ජීවන පෙරළි හේතුවෙන් ඇයගේ අධ්‍යාපනයද කඩා වැටීමකට ලක් වේ. මෙසේ කාලය ගත වී තරුණ වියේ එළිපත්තේ සිටි "මාගරිටා" හමුදාවේ කපිතාන් වරයෙකු හා විවාහ වන්නේ පුවත් පතක පළවූ මංගල දැන්වීමකට පිළිතුරු යැවීමෙනි. ඔහු ඉන්දුනීසියාවේ සේවය කල අයෙකු වූ බැවින් ඇයද විවාහ වී ඉන්දුනීසියාව බලා පිටත් වුවාය. මෙම කාලය තුල ඇය විසින් සාම්ප්‍රධායික ඉන්දුනීසියානු නර්තනය හොඳින් ප්‍රගුණ කරන්නට විය. එය ඇය ඉතා කැමැත්තෙන් සිදු කල කාර්යයක් වූවක් මෙන්ම ඇය දක්ෂ ලෙස එය ග්‍රහණය කර ගත්තාය. කෙසේ වෙතත් ඇයට වඩා විසි වසරකින් වැඩිමහල් වූ මෙම හමුදා කපිතාන්වරයා සමග වූ විවාහය ඉතා කෙටි කලකට සීමා වූවක් විය. ඔවුන් අතර වූ ගැටුම් උත්සන්න වූ අතර ඔවුන් දෙදෙනාම විවාහයට පරිභාහිරව මිනිසුන් සහ ගැහැණුන් ඇසුරු කරන්නට පෙළඹුණි. පෙරලා ඔවුන් නෙදර්ලන්තයට පැමිණෙන අතර වෙන් වෙන් වශයෙන් ජීවත් වීමට පටන් ගනී.

1903 වසරේ ප්‍රංශය බලා පිටත් වන ඇය ජීවත් වීම සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරයි. මේ ආකාරයට කාලය ගත වන අතරතුර 1905 වසරේ ඇය නර්තන ශිල්පිණියක ලෙස කටයුතු ආරම්භ කරන ලදී. "Musée Guimet" හි ඇයගේ ඉදිරිපත් කිරීම් හේතුවෙන් ඇයට විශාල ආකර්ශනයක් හිමි වූයේ නොසිතූ ලෙසයි. විශේෂයෙන්ම පිරිමින්ගේ ආකර්ශනය ඇයට වැඩි වැඩියෙන් හිමි වූ අතර නිරුවත් ජායාරුප විශාල ප්‍රමාණයකට ඇය තම සිරුර නිරාවරණය කලාය. නර්තනයේදී ඇයටම අනන්‍ය වූ විශේෂිත ඇඳුම් ආයිත්තම් වූ අතර ඒ අතර මැණික් ඔබ්බව සැදූ තන පට එකල අතිශය ජනප්‍රිය විය. ඇයගේ සෑම නර්තනයක් අවසානයේම ඇය නිරුවත් වුවද තන පට පමණක් ඉවත් නොකිරීමට ඇය වග බලා ගත්තාය. ඊට හේතුව නම් ප්‍රමාණයෙන් කුඩා පියවුරු ඇයට පිහිටා තිබීම බව ඇය ලඟින් ඇසුරු කළවුන් පවසා ඇත. සාම්ප්‍රධායික ඉන්දුනීසියානු නර්තනය ප්‍රගුණ කළ ඇයට නර්තනය එතරම් අරුමයක් නොවීය. නර්තන ශිල්පිනියක ලෙස නමක් ගොඩ නැගීමේදී ඇය සිය නම වූ මාගරීටා වෙනස් කොට "මාතා හාරී" ලෙස සිය අනන්‍යතාවය සකසා ගනී. ඉන්දුනීසියානු නමක් වූ එහි අර්ථය වූයේ "සූර්යා" යන්නයි.

කෙසේ වෙතත් කල් ගත වත්ම ඇයගේ නර්තනයට වශී වූ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින්,ව්‍යාපාරිකයින්,හමුදා නිලදාරීන් ඇයගේ ඇසුර පැතුහ. ඇයගේ නර්තන දිවිය සීමා වී ඉහළ පෙලේ පිරිමින් ඇසුරු කරන වෛශ්‍යාවකගේ තත්වයට ඇය පත් විය. මේ අවදිය වන විට පළමු ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවයි. ඉහළ පෙළේ මිනිසුන් ඇසුරු කිරීම හේතු කොටගෙන "මාතා හාරි" නොදැනුවත්වම ඔවුන්ගේ රහස් පණිවිඩ කාරියක් බවට පත් විය. ඇයට ප්‍රංශය සහ ජර්මනිය යන විරුද්ධවාදී රටවල් දෙක වෙනුවෙන්ම ඔත්තු බැලීමටත් රහස් පණිවිඩ ගෙන යෑමටත් සිදු වූයේ නොසිතූ ලෙසයි. මෙහි ප්‍රථිපලයක් ලෙස 1917 වසරේ පෙබරවාරි මස දිනෙකදී ඇයව අත් අඩංගුවට ගනු ලබන අතර ඇයට විරුද්දව චෝදනා ගොනු කෙරේ. අවසානයේ 1917 වසරේ ඔක්තෝබර් 15 වන දින ඇයව වෙඩි තබා ඝාතනය කිරීමට උසාවිය විසින් තීන්දු කරනු ලබයි.පවුලේ යයි පවසන කිසිවෙකු විසින් භාර නොගත් ඇයගේ දේහය වෛද්‍ය විද්‍යාලයකට භාර දෙනු ලබන්නේ ජීවිතයේ වූ අනිත්‍ය මනාව පසක් කරමිනි. පසු කාලීනව ඇයගේ ජීවිතය පිළිබඳව වූ සිනමා නිර්මාණ විශාල වශයෙන් ලෝක සිනමාව තුළ බිහි විය.





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators